නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජනතාව මහ පාරේ උද්ඝෝෂණය කළා වගේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙනුත් උද්ඝෝෂණය කරන්න වෙලා… – සිසිර රාජපක්ෂ – Saru News | සිංහල

0
9

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජනතාව මහ පාරේ උද්ඝෝෂණය කළ ආකාරයට, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙනුත් උද්ඝෝෂණ කිරීමට සිදුව ඇති බව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු විදුහල්පති සේවා සංගමයේ ලේකම් – සිසිර රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.

එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම, ප්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ,

“අධ්‍යාපනයේ පවතින ගැටලූ සම්බන්ධයෙන් ගුරුවරුන් දෙමාපියන් පමණක් නොවෙයි, අසීරු බරක් පොත් මල්ලේ දරාගෙන එන දරුවන්ටත් පැහැදිලි වී තිබෙනවා. පාසල පැත්තෙන් ගත්තාම ගුරුවරු සහ විදුහල්පතිවරුන් ශිෂ්‍යයන් පාසලට ගෙන්වා ගන්න දැඩි ප‍්‍රයත්නයක යෙදී සිටිනවා.

අපි කවුරුත් උසස් පෙළ පංතිවල තත්වය දන්නවා. විශේෂයෙන්ම 13වන ශ්‍රේණියට යනවිට ඉස්කෝලේ එන දවස් තීරණය කරන්නේ දරුවන්. වාර පරීක්ෂණයක දරුවන් එන්නේ නැහැ. අධ්‍යාපනයට හිතකර ඉගෙනුමට හිතකර පරිසරයක් පාසල තුළ පවතින්නේ නැහැ. මේ ආකාරයෙන් අධ්‍යාපනය ලබන දරුවන් ලබා ගන්නා සහතිකයට හිමිවී තිබෙන්නේ අවිනිශ්චිත අනාගතයක්. අවුරුදු අටකට වරක් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට මේ දක්වා කි‍්‍රයාකර තිබුණා. 2023 දීත් සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමට හිටපු පාලකයන් අපොහොසත් වුණා.

නිදහස් අධ්‍යාපන පනත ගෙන එන අවස්ථාවේ එයට එරෙහි වූ පාලකයන් සිටි රටක ජනතාව එළියට ඇවිත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බලකල ඉතිහාසය පිළිබඳව අපි අහලා තිබෙනවා. අද එළඹී තිබෙන්නෙත් එවැනි මොහොතක්. ප‍්‍රතිසංස්කරණවලිනුත් ඉදිරියට ගොස් අද සිදුවී තිබෙන්නේ පරිවර්තනීය මොහොතක කාර්යභාරයක්. හොඳ දේවල් පවත්වාගෙන යමින් බැහැර කළ යුතු දේවල් බැහැර කරමින් අලුත් දේවල් කතු එකර ගැනීමේ වගකිව යුතු කාර්යභාරයක් මේ තුළ පවතිනවා.

මේ නිසා අද ඇති වී තිබෙන සංවාදය සාධනීය ඉසව්වකට අපි කටයුතු කරනවා. අවර ගනයේ ප‍්‍රලාප මුමුණන ඊනියා සංවාද වෙනුවට බුද්ධිමය සංවාදයක නියැලීමේ අවශ්‍යතාව පවතිනවා.

නව ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීමට ඉවසීමෙන් කැපවීමෙන් හා ශක්තිමත් අවබෝධයකින් සිදුකළ යුතුව තිබෙනවා. ඒ නිසා දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට ගෙන යන මේ සම්මන්ත‍්‍රණ මාලාව වඩා සාධනීය දිශාවකට ගෙන යන්න මේ රටේ උගත් බුද්ධිමත් සෑම දෙනාටම අපි ආරාධනා කරනවා. එක් එක් ක්ෂේත‍්‍රවලට තිබෙන වෙන වෙන න්‍යාය පත‍්‍ර ඒ ආකාරයෙන්ම තියා ගනිමින් මේ යුගයේ ඉල්ලා සිටින අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් කොන්දේසි විරහිතව එකතු වෙන ලෙස සියලුම දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.”


49

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here