දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයන් මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි.
ගත වූ පැය 24 තුළ, නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශයන්ට ලැබුණු වර්ෂාවේ අඩුවීමක් නිරීක්ෂණය වූ බවත්, ඒ අනුව ඉදිරි කාලගුණ පුරෝකථනයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
නායයාමේ රතු නිවේදන ඉවත් කළ ද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අදියර දෙක යටතේ සහ අදියර එක යටතේ නිවේදනයන් නිකුත් කර ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟඉහළ කෝරළය, පහතදුම්බර, දොළුව, යටිනුවර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, අරණායක, දෙහිඕවිට, යටියන්තොට සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ, උකුවෙල, රත්තොට, විල්ගමුව සහ ලක්ගල, පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව සහ නිල්දණ්ඩහේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මෙසේ අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, කිරිඇල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මෙම නිවේදනය ක්‍රියාත්මකය.
මේ අතර බදුල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 23ක් සඳහා අදියර එක යටතේ විමසිල්ලෙන් සිටීමේ නිවේදන නිකුත් කර තිබේ.
Saru News













