ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවකට ඇමෙරිකාවෙන් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර, එම නැව විනාශ කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී ඔහුගේ අනුගාමිකයන්ගේ ලේ රත්කරවන ආකාරයේ කතා ගෙතීය.
එහෙත් ඊයේ (04) එම ප්‍රකාශයෙන් පසුව `India today’ මාධ්‍ය ජාලය ඔහුගෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික භාවයකින් යුතුව මේ අවස්ථාවේදී කටයුතු කරන බව ඉන්ග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10කගේ පමණ ජීවිත සහ රැකියා සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනිමින් ජාත්‍යන්තර තලයේ පිහිටි නිවැරදි භූ දේශපාලනික දැක්මක් සහිතව ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර නාමල් රාජපක්ෂ වැනි අය විකෘති අර්ථකථන දී මෙරට ජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටී.
මේ බව ඉතා මැනවින් පැහැදිලි වන ඔහුගේ පාර්ලිමේන්තු කතාව සහ ‘India today’ මාධ්‍ය ජාලයට ලබාදුන් සාකච්ඡාව ඇතුළත් වීඩියෝව මෙන්ම ඔහුගේ එම ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.
ප්‍රශ්නය :- ශ්‍රී ලංකා රජය සමඟ එක්ව, ඉන්දියාවත් ඉතා වැදගත් හෝ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ යුතු බව ඔබ කියනවා. මෙම අවස්ථාවේදී ඉන්දියාවෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවාද, විශේෂයෙන්ම මේ සිද්ධිය ඉන්දියානු සාගර කලාපයේ ජල සීමාවන් තුළ සිදුවෙද්දී?
එසේම ඔබට අනුව, ඇමෙරිකානු නාවික හමුදාවේ සබ්මරීනයක් මේ ජල සීමාවන් තුළ ක්‍රියාත්මක වීම මෙතරම් බරපතළ කරුණක් වන්නේ ඇයි?
පිළිතුර :- ඇමෙරිකාව හෝ වෙනත් රටක වුවද, ශ්‍රී ලංකා මායිම ආශ්‍රිතවත් ඉන්දියානු සාගරයේත් සබ්මරීනයක් හමුදා කාර්යයන් සඳහා ක්‍රියාත්මක වීම සැලකිලිමත් විය යුතු කරුණක්.
ලෝකයේ ප්‍රමුඛ ආර්ථික බලවතුන්ගෙන් කෙනෙකු ලෙස ඉන්දියාව ඉතා වැදගත් භූමිකාවක් ඉටු කළ යුතු බව මම විශ්වාස කරනවා. එසේම මෙම කලාපයට සාමය සහ ස්ථාවරත්වය ගෙන ඒමටත් ඉන්දියාවට විශාල වගකීමක් තියෙනවා.
ශ්‍රී ලංකා ජල සීමාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අප කළ යුතු දේ කරලා තියෙනවා. අපට ලැබුණු තොරතුරු අනුව සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව අපි ප්‍රතිචාර දක්වා තියෙනවා. නමුත් ඒ සමඟම, කලාපයේ සාමය සහ ස්ථාවරත්වය රැක ගැනීමට ඉන්දියාව විශාල භූමිකාවක් ඉටු කළ යුතුයි.
ගල්ෆ් කලාපය දැනටමත් අස්ථාවර වී තිබෙන නිසා, ඉන්දියානු සාගරයේ තවත් අස්ථාවර තත්ත්වයක් ඇති වීම අපට අවශ්‍ය නැහැ. එය කලාපයේ කිසිවෙකුටවත් හෝ ලෝකයටවත් හොඳක් කරන්නේ නැහැ.
ප්‍රශ්නය :- ඔබ සම්පූර්ණයෙන්ම හරි. බටහිර ආසියාවේ ගැටුම් ඉක්මනින්ම මේ කලාපයටත් පැතිර යා හැකි බවක් තියෙනවා. එය විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකියි.
ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, මේ කලාපයත් ඒවා අත්විඳලා තියෙනවා. ඔබ ඒ ගැන බය වෙනවාද?
පිළිතුර :- ඔව්. අපේ රටේ අපි ප්‍රමාණවත් යුද්ධ දැකලා තියෙනවා. එය පරම්පරා ගණනකට කොච්චර බලපානවාද කියලා අපි හොඳින් දන්නවා. අපි LTTE සංවිධානයට එරෙහිව අවුරුදු 30ක් යුද්ධ කළා. එහි ප්‍රතිවිපාක අපි තවමත් මුහුණ දෙනවා. ඒ නිසා යුද්ධය කිසිවෙකුට පිළිගත නොහැකි දෙයක්.
මිනිසුන්ට පහර දීම, පාසල් දරුවන්ට පහර දීම, යටිතල පහසුකම් හෝ ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීම කිසිම අවස්ථාවක පිළිගත නොහැකියි. ඒ නිසා පළමුව අපි යුද්ධයෙන් සහ ගැටුම්වලින් ඉවත් විය යුතුයි. කලාපයට සාමය සහ ස්ථාවරත්වය ගෙන එන්න ඕන. දැනට ගල්ෆ් කලාපය අස්ථාවරයි. ඊළඟට එය අපේ කලාපයටත් පැතිර යාමයි අපට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ කලාපයේ රටවල් එකට එකතු වෙලා සාමය සහ ආරක්ෂාව රැකගන්න වැඩ කරන්න ඕන.
ප්‍රශ්නය :- මෙය මෙම කලාපයේ ත්‍රස්තවාදය නැවත වැඩි වීමට හේතුවක් විය හැකි බවට ඔබට බයද? ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, මේ කලාපයත් ත්‍රස්තවාදයෙන් පීඩා විඳලා තියෙනවා.
පිළිතුර :- එය අපි කෙසේ ප්‍රතිචාර දක්වනවාද සහ කෙසේ හැසිරෙනවාද යන්න මත රඳා පවතිනවා. අපේ කලාපයේ නායකයන් ප්‍රමාණවත් පරිණතයි කියලා මම විශ්වාස කරනවා.
විශේෂයෙන්ම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති වැනි නායකයන්.
අපි වෙනස් දේශපාලන පක්ෂවලින් සහ අදහස්වලින් සමන්විත වුවත්, මේ කලාපයේ මේ වගේ තත්වයන්ට රාජ්‍ය නායකත්ව මට්ටමින් බුද්ධිමත්ව මුහුණ දිය හැකි නායකයන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා.
0
Saru News















