ධීවර ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

0
4

ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ අනුව, මෙම වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩපිළිවෙළ යටතේ, බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර වරායන් හරහා ඉන්ධන නිකුත් කිරීම සිදු වන අතර, යාත්‍රා අධීක්ෂණ පද්ධතිය (VMS) හරහා යාත්‍රා ගමන් තොරතුරු තහවුරු කර, අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය විධිමත්ව කළමනාකරණය කරනු ලබයි.

එක්දින සහ කුඩා පන්න යාත්‍රා සඳහා මීට පෙර පැවති ක්‍රමවේදයටම ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරවුම්හල් 100කට ආසන්න ප්‍රමාණයක් හරහා ධීවර නිලධාරීන්ගේ නිර්දේශය මත ඉන්ධන ලබා දීමට තීරණය කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශ සඳහන් කරයි.

දෛනිකව ක්‍රියාත්මක වන මෙවැනි යාත්‍රා 30,000ක් පමණ පවතින අතර, එක් යාත්‍රාවකට දිනකට ලීටර් 25 බැගින් දින 5කට වරක් ඉන්ධන නිකුත් කෙරෙන අතර ඩෙල්ෆ් දූපත හා බත්තලංගුණ්ඩුව වැනි ප්‍රදේශවල ධීවරයින්ට අවශ්‍ය සහය ලබා දීමටද විශේෂ අවධානය යොමු කර ඇති බවද එම අමාත්‍යාංශ නිවේදනය කරයි.

තවද, මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා හා ගොවිපොළවල ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සමඟ ඇති කරගන්නා ගිවිසුම් ප්‍රකාරව ලබාගත හැකි බව ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නිවේදනය කෙරේ.

ධීවර කර්මාන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි තත්ත්ව පාලන උප කාර්යාලය, සියලුම වරාය මෙහෙයුම් කාර්යාල, ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන සහ යාත්‍රා නිරීක්ෂණ ඒකකය සුපුරුදු පරිදි විවෘතව පවතිනු ඇත.

මේ හරහා මුහුදේ රැකියාවේ නියුතු ධීවරයින්ට, යාත්‍රා හිමියන්ට සහ මත්ස්‍ය අපනයනකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම සේවාවන් ලබාගත හැකිය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය,

“රජයේ නිවාඩු කාලසීමාව තුළ වුවද, ධීවර කර්මාන්තයට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා උපරිම වශයෙන් සහය ලබා දෙමින් එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අපේක්ෂාවයි.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here