දුමින්ද සිල්වාට අල්ලස් නඩුවකුත් වැටෙයි

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 150ක අල්ලස් ලබාගත් බවට ගොනුකර ඇති පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නම්කරන බව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (03) දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සෆ්‍රාස් නවාස් නමැති සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසම මේ බව සඳහන් කළේය.

එහිදී අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ 2021 වසරේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් සෆ්‍රාස් නවාස් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි දුමින්ද සිල්වාගේ අනුදැනුම මත මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවත් මීට අමතරව තවත් රුපියල් ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගත් සැකකරුවකු මේ වනවිට මියගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කරන දුමින්ද සිල්වා සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළේය.

The post දුමින්ද සිල්වාට අල්ලස් නඩුවකුත් වැටෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here