දේශපාලන මැදිහත්වීම් මත කොන්ත්‍රාත්තු පිරිනැමීමෙන් 2015-2019 කාලයේ දී උතුරු මැද පළාත් සභාව රුපියල් මිලියන 2000කට (බිලියන 2) අධික පාඩුවක් රජයට සිදු කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මාර්ග 42කට අයත් කොන්ත්‍රාත් 629ක් කාන්ති කන්ස්ට්‍රක්ෂන් නම් වූ එකම කොන්ත්‍රාත්කරුවකුට ලබාදී ඇති අතර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක හා හිටපු මහ ඇමැති පේෂල ජයරත්න එම ආයතනයට අවශ්‍ය පරිදි කාරක සභා රැස්වීම් වාර්තා පවා සකස් කර ඇති බවටද මෙහි දී හෙළි වී ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා (03) රැස්වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය විය. පළාත් සභාවට අයත් ගොඩනැඟිල්ලක බදු දී ඇති කඩකාමර 53ක් සඳහා රුපියල් මිලියන 66ක කුලී මුදල් සහ රුපියල් මිලියන 9ක විදුලි ගාස්තු මෙතෙක් ගෙවා නොමැති බවද මෙහි දී හෙළි කෙරිණි.
දේශපාලන හයිය මත සිදුකර ඇති මෙවැනි ක්‍රියා හේතුවෙන් උතුරු මැද පළාත අධ්‍යාපනය අතින්ද අවසන් මට්ටමට වැටී ඇති බවද එහිදී ප්‍රකාශ විය.
රුපියල් මිලියන 1.09ක් වටිනා ත්‍රිපෝෂ මලු 77ක් (පැකට් 2310ක්) අස්ථානගත වී ඇති අතර, කල් ඉකුත්වීමට ආසන්න රුපියල් මිලියන 23ක් වටිනා ත්‍රිපෝෂ තොග කුඩා දරුවන්ට සහ මවුවරුන්ට බෙදා දී ඇති බවද අනාවරණය විය. හිටපු මහ ඇමැති පේශල ජයරත්න මහතා එක්තරා ඉදිකිරීම් ආයතනයකට පක්ෂපාතීව කටයුතු කර ඇති බවටත්, මාර්ග සංවර්ධනයේදී බොරලු යෙදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පවා නොමඟ යවා ඇති බවටත් චෝදනා එල්ල විය. මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් රුපියල් මිලියන 2000කට (බිලියන 2කට) ආසන්න පාඩුවක් සිදුව ඇති බවත්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු දේශපාලන අධිකාරිය මේ සඳහා වගකිව යුතු බවත් සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි,
“උතුරු මැද පළාත් සභාව විසින් එක ගොඩනැඟිල්ලක කඩ කාමර 53ක් බදු දී තිබෙනවා. කඩ කුලී මිලියන 66ක් ගෙවා නැහැ. ඒ වාගේම විදුලි ගාස්තු වශයෙන් මිලියන නවයක් ගෙවා නැහැ. යම් දේශපාලන හයියක් තිබෙන මිනිස්සු අපේ දිස්ත්‍රික්ක විනාශ කරපු විදිහ අපි පුංචි කාලේ ඉඳන් දැක්කා. හොරාට හොරා කියන්න අපේ දිව නැමෙනවා, සභාපතිතුමනි, උතුරු මැද පළාත අධ්‍යාපනය අතින් පහළට වැටිලා ඉන්නේ. එහෙම කරපු මිනිසුන්ට මෙතනත් වාඩිවෙලා අපි සුදු හුනු ගාන්න ඕනද.”
විගණකාධිපති
රුපියල් මිලියන 1.09ක ත්‍රිපෝෂ පැකට් 30ක් බැගින් මලු 77ක් අස්ථානගත වී තිබීම, රුපියල් මිලියනයක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවීම හා රුපියල් මිලියන 23ක් වූ ත්‍රිපෝෂ කල් ඉකුත්වීමට ආසන්නව කුඩා දරුවන්ට හා බෙදාහැර තිබීම.
පිළිතුර:-
අස්ථානගත වී නැහැ.
එම පළාත් සභාවේම නිලධාරිනියකගේ පිළිතුර
“නැහැ නැහැ අස්ථානගත වීමකුත් වෙලා තිබෙනවා. ඒ ගැන පරීක්ෂණත් සිදුකර තිබෙනවා. මෙතුමිය හිටපු කාලෙවත් නෙවෙයි.”
උතුරු මැද පළාත් සභාවේ නිලධාරියකු ලබාදුන් පිළිතුර
“පාරවල් 42කට අයිති කොන්ත්‍රාත් 629ක් එකම කොන්ත්‍රාත්කරුවකුට තමයි ලබා දී තිබෙන්නේ. මේකේ හිටපු රජයේ නිලධාරීන් දෙන්නම ඉවත් කරලා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි
“ඔබතුමා කියන්නේ 2015-06-17 දින මහ ඇමැතිවරයාව සිටි පේශල ජයරත්න කාන්ති කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අයිතිකරු දිසානායක සමඟ පැමිණ කාන්ති ආයතනයට පක්ෂග්‍රාහී ලෙස රැස්වීම මෙහෙයවනු ලැබූ අතර එම ආයතනයට අවශ්‍ය පරිදි රැස්වීම් වාර්තාවක් සකස් කර ඒ රැස්වීම ගැනද කිව්වේ.”
කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයකු
“අඟල් හයක් බොරලු දාන්න ඕන එක ඇස්තමේන්තු කර තිබෙනවා අඩි දෙකකට. ඒ ක්‍රියාවලිය තමයි මේ ගිහින් තිබෙන්නේ. මේ පාරවල් කෑලි තුනේම. පාර්ලිමේන්තුවත් නොමඟ යවලා තමයි මේ අය කටයුතු කර තිබෙන්නේ. මේ මුදල් ලබාගැනීම වෙනුවෙන් පහුගිය කාලය තුළ කටයුතු කර තිබෙන්නේ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි
“2016 තුන්වන මාසයේදිත් හොඳින් හෝ නරකින් ඒ මුදල ගෙවන්න කියලා ඔබතුමාට බලපෑම් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ගත් කරලා තිබෙනවා.
රොෂාන් ඉලංගසිංහ කියන්නේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති. පළාත් සභාව විසුරුවීමෙන් පසුව පත්වූ සභාපති. එයාගේ තත්තා තමයි එයාව පත් කළේ.
ඒ කියන්නේ එතුමා පත් කරන්නේ පේශල ජයරත්න විසින්. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කර තිබෙන්නේ හිටපු ආණ්ඩුකාරවරිය. රජයට සිදුකර තිබෙන පාඩුව අති විශාලයි. මේ ඔක්කොම ගත්තොත් මිලියන 2000කට ආසන්නයි. එවකට හිටපු ඇමති දුමින්ද දිසානායක 2019-09-18 මේ ක්‍රියාවලියට යම් පක්ෂග්‍රාහිත්වයක් වෙනුවෙන්ම කාරක සභාවක් කැඳවා තිබෙනවා. එහෙම කියලත් මේකේ වාර්තා වෙනවා. මේකේ තිබෙන්නේ මහ දැවැන්ත හොරකම් ටිකක්. ඔබතුමා මේ වාර්තාව කියවන්නකො. දේශපාලන අධිකාරිය හොරකම්වලට අනුග්‍රහය දක්වන්නේ නැතිව නිලධාරීන්ට මේක කරගන්න බැහැ.”
දිනමිණ
6
Saru News
















