දියණියට විලාසිතා තෝරන විට අම්මාගේ වගකීම

0
17


අපි ඇඳුම් අඳින්නේ ඇයි ඇහුවොත් ඕනෑම කෙනෙක් ගෙන් ලැබෙන පිලිතුර වන්නේ විලි වසා ගැනීමට විය හැකියි. මෙම කරුණු වලින් ඔබ්බට ගොස් හිතුවොත් ඇඳුම නිසා අපට අලංකාරය, සදාචාරය වගේම සෞඛ්‍යය ආරක්ෂා වෙනවා. එහෙමනම් අපි ඇඳුමෙන් අලංකාරය ඉස්මතු කර ගැනීම ඉතාම වැදගත්. විලාසිතාවන් ඇඳුමට පමණක් සීමා වෙන්නේ නැහැ. හිසකෙස් සැකසුම්, පාවහන්, අත්බෑග්  සහ වෙනත් ආයිත්තම් ආදියත් ඇතුලත්. රටක ජීවත්වෙන හැම දෙනාටම විලාසිතා කිරීමට අයිතිය ඇතැත් විලාසිතාවන් තෝරා ගැනීමේදී මවකගේ කාර්යභාරය කුමක්ද?.

විලාසිතාවන් කිරීමේදී වඩාත් වැදගත් වන්නේ එම ඇඳුම අඳින විදිහයි. සාය, කලිසම, කලිසම, ළමා සාරිය, සාරිය හෝ ඔසරිය මේ අතර ඕනෑම ඇඳුමක් සංවරව අදින්නට බැරි කමක් නොමැත.උදාහරණයක් විදිහට කිවහොත් ළමා සාරිය ඉතා සංවර ඇදුමක් වුනත් එය අදින ආකාරයේදී පෙකණිය පවා පෙනෙන විදිහට අඳින්නේ නම් සමාජය විසින් ඒ පිලිබඳව දෝෂාරෝපනය කරනු ඇත. මේ නිසා ඔබ දරුවාට ඇඳුම් අඳින විට එහි සංවරයක් තිබෙන සේ අදින්නට උපදෙස් දෙන්න. එසේ නැතිව ගිය විට දරුවා අනාගතයේදී අනවශ්‍ය ලෙසින් චෝදනා ලබනු ඇත. නූතන පරම්පාරාව අතර සාරිය අඳින පිලිවෙල පවා බොහෝ සේ වෙනස්ව ඇත. මේ නිසා මවක ලෙස ඔබ දරුවාට විලාසිතා වෙනුවෙන් තෝරා ගන්නා ඇදුම පිළිවෙලකට අදින්නට උපදෙස් ලබා දෙන්න. එවිට ඇය මතු දවසකදී අසංවර ලෙසින් විලාසිතාවන්ට යොමුව ඇතැයි වූ චෝදනාවෙන් නිදහස් වෙනු ඇත.

මවක ලෙසින් ඔබේ තරුණ දරුවන් විලාසිතා අනුගමනය කළත් ඒවා හැඳ පැලඳ යා යුතු ස්ථාන තිබෙනවා. පන්සල, පල්ලිය, කෝවිල, මගුල සහ අවමගුල ලෙසින් විවිධ භුමිකාවන් ඇත.මේ එක් එක් ස්ථානයට යන විට තැනට ගැලපෙන ලෙසින්  ඇඳුමක් වැදගත් වේ.

බොහෝ තරුණ දරුවන් විලාසිතාවන් කරනුයේ රැල්ලට යමින් මිස තමාගේ අවශ්‍යතාවය මත නොවේ. 1980 දශකයේ බොහෝ දෙනා “ඩයනා කට්” අනුව තමාගේ හිසකෙස් සකසා ගත්හ. කේට් කුමරිය අඩි උස පාවහන් පළඳන නිසා අපේ දියනිවරුන්ද එම අඩි උස පාවහන් සොයන්න වූහ. කේට් කුමරිය පයින් ගමනක් නොමැති නිසා අඩි උස පාවහන් ඇයට කිසිම පීඩාවක් ඇති කරනු නොලැබේ. එතේ අපේ දියනිවරුන්ට ගමන් කිරීමට ඇත්තේ පටු මාවත්ව ගල් බොරළු සහිත පටු මාවත්වලය.  මෙම පාවහන් පැළඳ යෑම නිසා විලුඹට ඇති වෙන බර පසුකාලීනව විවිධ පාද ආබාධ සඳහා හේතු වෙන බවත් ඔවුන්ට මතක් කර දෙන්න.

මස් ඉපිලෙන විදිහට සහ අනවශ්‍ය විදිහට කෙටි ඇඳුම් ඇද ගෙන මහමග යෑම අපචාරවලට හේතු වෙන බව එක් පැත්තකින් කියන විට තවත් අය කියා සිටින්නේ ඇඳුමකින් ඉපිලෙන මස් දුටු පමණටම එය අපචාර සඳහා හේතු නොවන බවයි. එහෙත් මේ තත්වය නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටළු කීපයක් ඇත. පොල්තෙල් ගා ගලවන සේ කිටි කිටියේ අඳින ඩෙනිම් කලිසම් නිසා රුධිරනාල අවහිර වීම්  වැනි අපහසුතාවයන් ඇති වේ. අනවශ්‍ය විදිහට හිර ඇඳුම් නිසා ඇති වෙන මාංශපේශි තදවීම් සිරුරට අපහසුතාවයක් වේ. එමෙන්ම සමාජයේදී ඇති වෙන අපහසුතාවයන් බොහෝය. කෙටි සායක් හැඳගෙන බසයක පාද එක්තැන් කර ගැනීම අපහසුය. හදිසියේවත් වැටක් පැනීමට නොහැක. එවන් අපහසුතාවයන් ගැනත් විලාසිතාවන් කිරීමට පෙරාතුව සිතන්නට දරුවන්ටත් අදහස් ලබා දෙන්න.

විලාසිතාවක් වුනත් සරල සහ ප්‍රසන්නවීම ඉතාම වැදගත්ය. අනවශ්‍ය විදිහට වූ තොරොම්බෝල කරත්තයක තත්වයට පත් විය යුතු නැත. දකින්නන් තුළ ප්‍රසන්නතාවයක් ඇති වෙන්නේ චාම් සහ සරල විලාසිතාවන් වෙතය. ඒ නිසා නිතරම අනවශ්‍ය ලෙසින් විලාසිතාවන් කියා දියණියගේ පවතින සුන්දත්වයට හානි නොවන සේ විලාසිතාවන් කිරීමට ඇයට උපදෙස් දෙන්න.

අද තරුණ දූ දරුවන් විලාසිතාවන් වෙනුවෙන් දක්වන දැඩි ආකර්ශනය නිසා මව්පියන්ට ඔරොත්තු නොදෙන තරම් ආර්ථික ගැටළු ඇති වී තිබේ. වර්තමානයේදී එය මව්පියන්ට ගැටලුවක් වන්නා සේම අනාගතයේදී ඔවුන්ගේ ජීවිතටයත් එයින් ඇති වෙන ආර්ථික අපහසුතාවයන් බොහෝය. අලුත රැකියාවන් ලබන තරුණ දරුවන් තම ආදායමෙන් වැඩිම කොටස විලාසිතාවන්ට යොදවන ප්‍රවනතාවයක් ඇත. ඔවුන් කියන්නේ තරුණ වයසට නොමැති විලාසිතාවන් කවදාටද….? යන්න වුනත් තරුණ වයසේ පටන් අනාගත ජීවිතය ගොඩ නගා ගත යුතුව ඇත.

එක් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ තරුණ දියණිය බැංකු නිලධාරිනියක ලෙසින් රැකියාවක නියුතුව සිටියදී ඇයට ලැබුන විවාහ යෝජනාව මල් ඵල දරා විවාහයට දින නියම වීමට ඔන්න මෙන්න කියා තිබියදී මනාලයා විසින් මෙම මංගල්‍යය සඳහා අකමැත්ත ප්‍රකාශ කලේය. මහත් අපහසුතාවයට පත් තරුණ දියණියගේ පවුලේ උදවිය මේ ගැන තොරතුරු සොයන විට ආරංචි වුනේ මෙම දියණිය කිසිම ආර්ථික කලමනාකරනයක් නොමැති අතර ඇගේ පමණක් නොව විවාහ වීමට අපේක්ෂිත තරුණයාගේ මුදල් පවා විලාසතා වෙනුවෙන් වැය කරන නිසා අනාගතය පිලිබඳව තිබෙන අවදානම මත විවාහයට අකමැති බවයි. මේ නිසා තරුණ දූවරුන්ට පමණ හෙවත් තමාගේ මුදල් පසුම්බියේ හැටියට වියදම් කිරීමට උපදෙස් දෙන්න.

ඇතැම් මව්වරුන් පවා තමාට ලොකු මහත් දරුවන් සිටින බව පවා විලාසිතාවන් කිරීමේදී අමතක කරන තැනට පත්ව ඇත. දරුවන් ලද පමණින් විලාසිතාවන්ගෙන් බැහැර වම අවශ්‍ය නැති වුනත් කළ යුතු සහ නොකළ යුතු සීමාවන් ඇත. වයස විස්සක තරුණියකගේ තත්වයට අවුරුදු හතලිහක මව පත් විය යුතු නැත. දරුවන්ද පෙරටු කර ගෙන ඇය යනෙනා විට බොහෝ  දෙනෙක් වෙනත් අය මුල් කර ගෙන හෝ මෙසේ කියනු ඇත. “අඩුම ගනනේ ලොකු මහත් වුන දරුවොත් සමග නේද මේ යන්නේ කියල හිතනන් එපායැ…” මේ වචනම ඔබටත් පෙරලා පැමිණෙන්නේ අම්මෙක් විදිහට ඔබ නොගැලපෙන අන්දමේ විලාසිතාවන් මත යැපුනොත් පමණි. ඒ නිසා දියනියට වගේම මවක ලෙසින් ඔබත් විලාසිතාවන් තෝරා ගැනීමේදී මෙය මට ගැලපෙන්නේද…? මගේ දරුවන්ට ගැලපෙන සහ නොගැලපෙන විලාසිතාවන් මොනවාදැයි හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එවිට ඔබ පමණක් නොව ඔබේ ආදරණීය දියණියත් රටෙන් ලෝකයෙන්  චෝදනා නොලබනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here