දැවැන්ත ආදායම් හෙවූ YouTube නාලිකා 16ක් වසා දමලා

0
4

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් Content නිපදවා දැවැන්ත ආදායමක් උපයමින් තිබූ ප්‍රධාන පෙළේ YouTube නාලිකා 16ක් වසා දැමීමට Google සමාගමට අයත් YouTube ආයතනය පියවර ගෙන තිබේ.

අදාළ නාලිකා මගින් YouTube ආයතනයේ “අනිසි භාවිතය සහ ස්පෑම්” (SPAM) සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

YouTube ආයතනය පෙන්වා දෙන්නේ අදාළ නාලිකා මගින් “AI Slop” හෙවත් කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නොමැති, ස්වයංක්‍රීයව (Automated) නිපදවන ලද, එකම දේ නැවත නැවත ඉදිරිපත් කරන වීඩියෝ දහස් ගණනින් පළ කර ඇති බවයි.

එසේම, පරිශීලකයින් නොමග යවන සුළු මාතෘකා සහ පින්තූර (Clickbait) භාවිතය, අඩු ගුණාත්මක මට්ටමේ AI හඬවල් සහ රූප රාමු පමණක් යොදාගෙන වීඩියෝ නිෂ්පාදනය කිරීම, නියම නිර්මාණකරුවන්ගේ අවස්ථා අහුරමින් පද්ධතිය (Algorithm) අනිසි ලෙස හැසිරවීම හා එම YouTube නාලිකා ලැබූ ආදායම සහ බලපෑම අදාළ නාලිකා වසා දැමීමට හේතුවී ඇත.

වාර්තාවලට අනුව, වසා දමන ලද මෙම YouTube නාලිකා 16 සතු කරුණු මෙසේය.

– මුළු ග්‍රාහකයින් (Subscribers): මිලියන 35කට වඩා වැඩි

– මුළු නැරඹුම් වාර (Total Views): බිලියන 4.7කට වඩා වැඩි

– වාර්ෂික ඇස්තමේන්තුගත ආදායම: ඇ. ඩොලර් මිලියන 10කට ආසන්නයි (ශ්‍රී ලංකා රු. බිලියන 3කට වඩා වැඩි).

වසා දමන ලද නාලිකා අතර මිලියන 5කට වඩා ග්‍රාහකයින් සිටි Cuentos Facinantes සහ Imperio de Jesus වැනි ප්‍රබල නාලිකා ද ඇතුලත් වන බව සඳහන් වේ.

මේ අතර, YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මෝහන් (Neal Mohan) මීට පෙර සඳහන් කර තිබුණේ, AI තාක්ෂණය නිර්මාණකරුවන්ට සහායක් ලෙස භාවිතා කිරීම ගැටලුවක් නොවන නමුත්, මිනිස් ශ්‍රමයකින් තොරව හුදෙක් මුදල් ඉපයීමේ අරමුණින් පමණක් පද්ධතියට මුදාහරින “SPAM” අන්තර්ගතයන් ඉදිරියේදී තවදුරටත් දැඩි පාලනයකට ලක් කරන බවයි.

මෙම පියවර මගින් සැබෑ නිර්මාණකරුවන්ට (Human Creators) සාධාරණ අවස්ථාවක් ලබා දීම YouTube හි අරමුණ වී ඇතැයි ද පැවසේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here