දැන් ජේවීපී නායකයින් රජාටත් වඩා රාජපාක්ෂික වෙලා. මැතිවරණ වේදිකාවේ අමු අමුවේ පට්ට කෙබර ඇදබාන තත්වයට පත්වෙලා – කුමාර්

0
12


සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණට අතීතයේදී ශිෂ්ට සම්පන්න සහ වගකීම් සහගත ලෙස කරුණු දැක්වීමේ සංස්‍කෘතියක් තිබුණු නමුත් වත්මන් ජවිපෙ නායකයින් මැතිවරණ වේදිකාවට අමු අමුවේ බොරු කියන්න මට්ටමට ඇද වැටී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසයි.

ඔවුන් රටට අහිතරක ගිවිසුම්වලට ඉන්දියාවත් සමග අත්සන් කර, ඒ ගිවිසුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ද ජනතාවට ඉදිරිපත් කරමින් සිටින බවයි කුමාර් ගුණරත්නම් වැඩිදුරටත් සඳහන් කළේ.

“දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ භාෂාවද තිබුණෙ 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණ වේදිකාවෙදී ? මේ භාෂාවද තිබුණෙ 2024 නොවැම්බර් මැතිවරණ වේදිකාවේදී ? එතකොට තිබුණු භාෂාව මොකක්ද, ඉතාමත් ශිෂ්ටසම්පන්න, ඉතාම වගකීම් සහගත, මේ පැරණි දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන, අවුරුදු 76ක් මේ රට විනාශ කළ දේශපාලනය බරපතළ ලෙස විවේචනය කරපු, යහපත් සංස්කෘතියක් ගොඩනඟවායි කියන, මහා බලාපොරොත්තු සහගත භාෂාවක් තිබුණෙ. දැන් මොකක්ද තියෙන භාෂාව ? “අපි දෙන්නෑ, පුළුවන් නම් ගිහිල්ලා තොරතුරු දැනගැනීමේ පනතෙන් ගන්න !”. ජේවීපී එකේ ලේකම් ටිල්වින් සිල්වා කියනවා මේ ගිවිසුම් ඔක්කොම සභාගත කරලා ලු තියෙන්නෙ. මේ අමු අමුවේ පට්ට කෙබර ඇදබාන තත්වයට මේගොල්ලො පත්වෙලා. ඇයි මේ ? අපිත් හිටියා කාලයක්. අපි ජේවීපී එකේ අවුරුදු ගාණක් ඉඳලා තමයි 2011 – 12 අපි මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනැගුවේ. ඒ නිසා අපි මේගොල්ලොන්ගෙ දේශපාලන ඉතිහාසයත් දන්නවා. එදාත් අපිට මේ ප්‍රශ්නෙ තිබුණා, නමුත් අපි එදා කිව්වාට රටේ ජනතාව ඒක එතරම් විශ්වාස කළේ නෑ. එදා විතරක් නෙවෙයි පහුගිය ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී මේගොල්ලො යන්න යන්නෙ පරණ පාරේ කියලා අපි කිව්වාට කවුරුත් විශ්වාස කළේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නෙ ? දැන් රජාටත් වැඩිය රාජපාක්ෂික වෙලා දැන් ඒ පරණ පාරේ වේගයෙන් ගමන් කරමින් ඉන්නවා ඉතාම කෙටි කාලයක් තුළ. දුන් පොරොන්දු ඉටු නොකරනවා විතරක් නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ දේ කරමින් ඉන්නවා”

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජන අරගල සන්ධානය ඊයේ (අප්‍රේල් 24) පැවැත්වූ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here