Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් දළදා වන්දනා රාජකාරියේ නියැලුණු 42 හා 57 නාවුල පොලිස් සැරයන්වරුන් දෙදෙනා මියගිය...

දළදා වන්දනා රාජකාරියේ නියැලුණු 42 හා 57 නාවුල පොලිස් සැරයන්වරුන් දෙදෙනා මියගිය හැටි

0
12


how-the-two-naula-police-sergeants-42-and-57-died-while-on-duty-at-the-dalada-maligawa-shrine

මහනුවර සිරි දළදා මාලිගාවේ වන්දනා රාජකාරියේ නියැලී සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවාසනාවන්ත සිදුවීම ඉකුත් 18 වන දින සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් දැන්වීය. මියගිය නිලධාරීන් දෙදෙනා නාවුල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් මංජුල රාජපක්ෂ (42) සහ කඩුගන්නාව පොලිසියේ සේවය කළ සැරයන් එස්.යූ.එන්. නිශ්ශංක (57) බව හඳුනාගෙන ඇත.

නාවුල පොලිසියේ සේවය කළ සැරයන්වරයා වන මංජුල රාජපක්ෂ මහතා, තම රාජකාරිය අවසන් කර යතුරුපැදියකින් නිවස බලා ගමන් කරමින් සිටියදී, නින්ද යාම හේතුවෙන් පාලනය නැති වූ යතුරුපැදිය මාර්ගය අසල පිහිටි කොන්ක්‍රීට් කානුවකට පතිත වීමෙන් බරපතල තුවාල ලබා ඇත. එම තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙයට අමතරව, කඩුගන්නාව පොලිසියේ සැරයන් එස්.යූ.එන්. නිශ්ශංක මහතා තම රාජකාරියේ නියැලී සිටියදී හදිසි අසනීප තත්ත්වයකට පත්ව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ අධික සංඛ්‍යාව හේතුවෙන්, මහජනතාවට දැනට වන්දනාවේ නොයෙදෙන ලෙස පොලිසිය නිල වශයෙන් දැනුම් දී තිබුණද, එම උපදෙස් නොතකා විශාල බැතිමතුන් පිරිසක් පෙරදින මෙන්ම ඊයේ දිනයේ ද දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වත්මන් තත්ත්වය යටතේ දිවයින පුරා පොලිස් නිලධාරීන් ගම්මාන වෙත ගොස් සිරි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාව දැනුවත් කිරීමේ ව්‍යායාමයක නිරත වන අතර, දුම්රිය සහ මාර්ගස්ථ ප්‍රවාහන බස් රථ ගමනාගමනය ද සීමා කර ඇති බව පොලිසිය තවදුරටත් දන්වා සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here