දරුවෙකුගේ ගති ලක්ෂණ

0
16


දරුවන් ගැන ලෝකයම කතා කරන්නේ බොහොම ආඩම්බරයෙන්. අද නොදරුවන් විදිහට හිටියත් හෙට ඔවුන් අනාගතය බාර ගනන්වා. ඒ නිසා අපි දරුවා පූර්ණ පෞරෂයකින්  යුක්තව නිර්මාණය නොකලොත් අනාගතයේදී ඔවුන්ට සමාජගත වීම අපහසුයි. එහෙම නම් දක්ෂ දරුවෙකුගේ ගති ලක්ෂණ මොනවාද.. ? මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා.

දරුවෙක් සමාජයේ හැසිරෙන විට ඔවුන් අනුන්ට අවශ්‍ය විදිහට හැසිරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. බොහෝ විට දරුවන් නොමගට යෑමටත් මේ හේතුව බලපානවා. අද දරුවන් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියට පෙළඹෙන්නේ පංතියේ එහෙම නැත්නම් වැඩිහිටි දරුවෙකුගේ බලපෑම නිසයි. විද්‍යානුකූලව වුනත් දරුවෙක් වයස අවුරුදු 18 ක් වීමට පෙරාතුව ඔවුන්ට තනි තීන්දු තීරණ ගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා දරුවෙක් වුනාම තමන්ට දැනෙන සේ ප්‍රකාශ කිරීමට හැකියාව ගොඩ නගා ගැනීම වැදගත්. තමන්ට දැනෙන දේ අනිත් අයට ග්‍රහණය කළ හැකි විදිහට ප්‍රකාශ කරන්න. පංතියේ විෂය ගැන ගැටළුවක් ඇති විට ඒ ගැන කතා කරන්න පුලුවන් කොන්ද පණ ඇති දරුවෙකුටයි. දරුවාට ඒ හැකියාව නැති වුනොත් ඔහු ඉදිරියට යන්නේ මේ ගැටළුත් සමගයි.

දරුවන්ගේ ලෝකය පුංචි වුනත් ඔවුන්ට විවිධ හැලහැප්පීම් ඇති වෙනවා. දුක, තරහ, ලැජ්ජාව, බිය වැනි හැඟීම් ඉදිරියේ ඒවා දරා සිටීමේ හැකියාව අවශ්‍යයි. දරුවන් අතරත් තරහ යෑම වැනි හැගීම් දරා ගැනීමට බැරි නිසා විවිධ අනතුරු සිද්ධ වෙනවා. සමහර දරුවන්ට විභාග ප්‍රතිඵල දරා ගැනීමට නොහැකිව සිය දිවි හානි සිදු කර ගන්නවා. තවත් දරුවන් ලැබෙන ප්‍රතිඵලය ඉදිරියේ නොසැලී සිටිනවා. හැඟීම් සමග ගණුදෙණු කරන්න පුලුවන් නම් එය දියුණු ලක්ෂණයක්. එහෙම නොහැකි නම් ඒ දුර්වල ලක්ෂණයක්. වයස අවුරුදු 14 සිට 17 දක්වා අතර කාලයේදී ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා හැගීම් සමග බුද්ධිමත්ව ගණුදෙනු කිරීම අවශ්‍යයි. ඒ හැකියාව නැති වුනොත් ජීවිතයම කණපිට හැරෙන තරම් විපාක දරුණුයි.

දරුවන් අතර තිබෙන නොදියුණු ලක්ෂණයක් විදිහට රැවටෙන ගතිය පෙන්වා දෙන්න පුලුවනි. කාටුන් වැනි චරිත නිසා දරුවන් රැවටෙනවා. මේ චරිත තමන්ට ආදේශ කර ගන්නවා. සමහර දරුවන් බොහොම ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න තරම් මේ කාටුන් චරිත වලට දරුවන් රැවටෙනවා. මත්ද්‍රව්‍යවලට වුනත් දරුවන් රැවටෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් වෙනත් අය මවා පාන සුන්දර ලෝකය නිසයි. දක්ෂ දරුවෙක් මේ වගේ රැවටෙන ගතියට හසු වෙන්නේ නැහැ. අන්තර්ජාල, වට්ස්ඇප්, වැනි විද්‍යුත් මාධ්‍ය මගින් වුනත් දරුවන්ට ඇති කරන මායාවන් නිසා ඔවුන් ජීවත්වෙන්නේ මුලා වුන ලෝකයකයි.

දක්ෂ දරුවන් අතර උනන්දුව ඉතාම වැදගත්. ඔවුන් ජීවිතයේ විවිධ දේ වෙනුවෙන් උනන්දු වෙනවා. දරුවෙක් විදිහට අධ්‍යාපනයට උනන්දු විය යුතුයි. පාසල් අධ්‍යාපනය වසර 13 ක්. මේ කාලයේ අනන්දුවක් නැති නම් ඉගෙනීමෙන් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. උදේ නිවසෙන් පිට වෙද්දී අද දවස වෙනුවෙන් අරමුණක් ගොඩ නගා ගැනීම වැදගත්. “අද මම මේ පාඩම සම්පූර්ණ කරනවා…” දවස පටන් ගන්න පෙරාතුව විනාඩි දහයක් කාලය අරගෙන එය කළමනාකරණය කර ගන්න. මේ කළමනාකරණයෙන් ඇති වෙන සැලසුම ඉතාම ඵලදායී විදිහට ජීවිතයට ආදේශ කර ගන්න පුලුවනි. පාඩමට වගේම ක්‍රිඩාවටත් , පොත් පත් කියවීමටත් දරුවන් උනන්දු වීම වැදගත්.

දක්ෂ දරුවන් අතර සතුටින් සිටීම ඉතාම වැදගත්. සතුට කියන්නේ දුක නැති කම නොවෙයි. හැම වෙලාවේම සතුටින් ඉන්න උත්සාහ කිරීමයි. සතුටින් සිටින හැම අවස්ථාවකදීම මොළය විවෘතයි. එවිට ධාරණය වැඩියි. දුක, තරහ වැනි සිතුවිලි නිසා අපේ සිරුරේ උත්තේජනය වෙන රසායනයන් ඉතාම අහිතකර විදිහට බලපානවා.

දක්ෂ දරුවා පවුලට ආදරෙයි. අම්මා තාත්තාට සමීපයි. දරුවන් උස් මහත් වෙද්දී ඔවුන්ගේ ආකල්ප අම්මා තාත්තාට ගැලපෙන්නේ නැහැ. දරුවන් හිතන්නේ ඔවුන් දක්ෂයි… දෙමව්පියන් අදක්ෂයි.. දරුවන් බිහි කරල, ඔවුන් රෝගාබාධයන්ගෙන් රැකගෙන, ශිල්ප උගන්වලා සමාජයට එකතු කිරීමට දෙමව්පියන් ඉදිරියේ තිබුන අභියෝගය   සුලුවෙන් සලකන්න බැහැ. දරුවන්ගේ ගෞරවය අනිවාර්යෙන්ම දෙමව්පියන්ට ලැබිය යුතුයි. ආදරය ඇති දරුවාට සමාජයට ගරුත්වය දැක්වීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. ඒ නිසා දෙමව්පියන් විදිහට සමාජයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here