දරුවා සමාජයේ අප්‍රසාදයට ලක් නොවීමට ඔබේ අවධානය යොමු විය යුතු කරුණු 5ක්

0
14


පුංචි දරුවෝ කියන්නේ දැනුම් තේරම් ඇති අය නම් නෙවෙයි. ඔවුන් කාගෙවත් පාලනයකින් තොරව බොහොම නිදහසේ ඔවුන්ගේ වැඩ කටයුතු වල නිරත වෙන පිරිසක්. ඒත් හැමදාමත් ඔවුන් ජිවත් වෙන්නේ අම්මා තාත්තා ලගම පමණක් නොවෙයි. ඔවුන්ට නෑදෑ හිතමිතුරන් හා සමග ගැටෙන්නට අනිවාර්යෙන්ම සිදු වෙනවා. තමන්ගේ අම්මා තාත්තා ළඟ කොයි විදියට හිටියත් පිරිසක් අතරට යද්දී අපේ දරුවන්ට යම් සංයමයක් තිබිය යුතුමයි. අන්න ඒ නිසාම මේ කරුණු කීපය ගැන මව්පියන් දන ගත යුතුමයි කියලා parenting.lk අපිට හිතුණා.

පුංචිම පුංචි දරුවෙක්ට හැර සාමාන්‍යයෙන් දුවලා පැනල සෙල්ලම් කරන පුංචිම දරුවෙක්ට උනත් පිරිසක් අතරේ ඉන්නවා නම් සුදුසු ඇඳුමක් ඇන්දවීම අනිවාර්යයි. දරුවා තාම පොඩියිනේ, අනික හරිම රස්නෙයි. ඒ නිසා උඩ ඇඳුමක් ඕනේ නැ, ඇතැම් විට ඔබ හිතන විදිය වෙන්න පුළුවන්. ඒත් අම්මා තාත්තා සමග නිවසේ රැදෙන විට පවා දරුවාට සුදුසු ඇඳුමක් ඇන්දවීම වඩාත් සුදුසුයි. උණුසුම් දිනයකදී නම් උර පටි සහිත කපු රෙද්දෙන් නිම වූ ඇඳුමක් ඔබට තෝරා ගත හැකියි. එසේම මේ දුවටද පුතටද කියා වෙනසක් තිබිය යුතු නැත.

අපි කවුරුත් කැමති අපේ දරුවන්ට කොයි කවුරුත් ආදරය කරනවට. ඒ වගේම අපේ දරුවන්ගේ වැරදි අඩුපාඩු කතා කරනවා අහන්න අපි කොයි විදියකටවත් කැමති නැ. ඒ වගේම තවත් දරුවෙක් එක්ක අපේ දරුවා සංසන්දනය කරනවට අපි කැමතිත් නැ. ඒ විතරක් නෙවෙයි, අපේ දරුවෝ නිසා අපිව අපහසුතාවයට පත් වෙනවට අපි කැමතිත් නැහැ.

මෙන්න මේ නිසාම අපි අපේ දරුවන්ට ඒ දේවල් ගැන කියල දෙන්න ඕනේ. ලස්සනට ඉන්න, ලස්සනට කන්න බොන්න, ලස්සනට කතා බහ කරන්න, අනෙක් අයට හිරිහැරයක් නොවෙන විදියට ඉන්න, කාගේත් හිත දිනාගෙන ආදරය ලබාගන්න. අපි මෙහෙම කියද්දී මව්පියන් විදියට ඔයාලට හිතෙන්න පුළුවන් “අපේ දරුවට කාගෙවත් ප්‍රසාදයක් මොකටද?” කියලා. ඒත් මතක තියාගන්න, දරුවෝ හැමදාම ජිවත් වෙන්නේ අපිත් එක්කම නෙවෙයි. එයාලා සමාජයට යනවා. ඒ තැන්වලදී ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ සාමුහිකවයි. එයාලගේ කාර්යයන් බාධාවකින් තොරව සුහදව කරගන්න නම් මේ කියූ යහ පැවැත්ම පුංචි කලේ ඉඳලම දරුවෙකු තුළ වර්ධනය කර ගත යුතුමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට අපි සහයෝගය ලබා දිය යුත්තේ ඒ නිසයි.

සමහර දරුවෝ ගිරවු වගේ කියවනවා. ඒ අතරේ ඕනේ දේ වගේම එපා දේත් කියවෙනවා. ඉතිං දරුවන්ට ඒ ගැන අවබෝධයක් ලබා දිය යුතුමයි. මොකද අපේ නිවසේ අපේ කටයුතු පිළිබඳව පිටස්තර පිරිස් දැනගත යුතු දේ වගේම දැන ගත යුතු නොවන දේත් තියෙනවා. ඒ ගැන ඔබේ දරුවාගේ වයස මට්ටම අනුව පුංචියට හරි අවබෝධයක් ලබා දෙන්න ඔබට පුළුවන් නේද?

මේකේ තව පැත්තකුත් තියෙනවා, සමහර වැඩිහිටියෝ ඉන්නවා හාර හාර දරුවන්ගෙන් පෞද්ගලික විස්තර අහන. ඒ දේවල් අපිට වෙනස් කරන්න බැරි නිසාම අපි අපේ දරුවන්ට ඒ වගේ අවස්ථාවන්වලදී ස්ථානෝචිතව හැසිරිය යුත්තේ කොහොමද කියන දේ කියා දිය යුතුයි. ගෙදර බොන පිටි වර්ගය, අම්ම උයනවද? අම්මයි තාත්තයි රන්ඩු වෙනවද? අම්මා වැඩිපුර ආදරේ නංගිට නේද? මෙන්න මේ වගේ මෝඩ ප්‍රශ්න දරුවන්ව පැත්තකට කරගෙන අහන අය ඕනෙ තරම් ඉන්නවා. මෙන්න මේ දේවල්වලදී පුංචි දරුවෙක් පත්වෙන්නේ හරිම අසරණ තත්ත්වයකට කියලා හිතන්න තරම් සමහර වැඩිහිටියන්ගේ මොළේ වර්ධනය වෙලා නැ. ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී මගහරින්න ඔවුන්ට කියා දෙන්න.

පිරිසක් එක්ක ආහාර වේලක් ගනිද්දී අපේ දරුවෝ බොහොම සතුටෙන් ඒ අවස්ථාවට සහභාගී වෙනවා. ඒත් සමහර දරුවන්ට කෑම මේසේ සිරිත් විරිත් ගැන නම් කිසිම අවබෝධයක් අදහසක් නැ. කෑම කන ගමන් කැ ගාහනවා, කෑම කන ගමන් කට අරිනවා, දිව එළියට දානවා, මුළු මේසේම කෑම හලනවා. මේ වගේ අවස්ථාවකදී අන් අයට මේ දරුවා අප්‍රියජනක විය හැකියි. ඒ ඔබේ දැරුවා නම් ඔහුට/ඇයට ඒ තත්ත්වයට පත් නොවීමට අවශ්‍ය සැලසුම සකසා දිය හැකිවන්නේ ඔබටම පමණයි. “පුංචි ළමයිනේ, ලොකු වෙද්දී ඇරිලා යාවි” කියා ඔබේ සිතට නැගෙන සිතුවිල්ල ඔබේ දරුවාගේ අනාගතයට හානියක් බව ඔබ මතකයේ රඳවා ගන්න.

හැම දරුවෙක්ම ලස්සනයි. දරුවෙක් කියන්නේ මේකප්වලින් හැඩ ගැන්විය යුතු අයෙක් නෙවෙයි. පුංචි නියපොතු පාට ගන්වලා, තොල් රතු කරලා, ඇස් හැඩ ගන්වලා මව්පියන් පුංචි ගැහැණු දරුවෙක්ගෙන් දකින්න උත්සහ කරන සුන්දරත්වය මොකද්ද කියලා අපිට වටහා ගන්න නම් අමාරුයි. ඒ වගේ දරුවෙක් දැක්කම ඇත්තටම දැනෙන්නේ අනුකම්පාවක්. අපිට ඒ විදියට දැනුනත් අපේ වටපිටාවට ඒ විදියට දැනෙන්නේ නැහැ. නූගත් අවස්ථාවාදී පිරිස් අපි අතරේ ඕනේ තරම් ඉන්නවා. එවැනි පිරිස් මෙවැනි දරුවෙකු තුළින් අනවශ්‍ය  අසාවන් ඉටුකර ගැනීමට අවස්ථාවක් ලබාගන්න උත්සහ කළ හැකියි. දරුවෙකුගේ සුරතල් ළමා කාලය ඒ ආකාරයෙන් විඳ ගන්න ඉඩ තියන්න. ඔබේ අසාවන් දරුවන් තුළින් ඉටු කරගැනීමට උත්සහ නොකරන්න.

අපි කවුරුත් කැමති ඕනෙම කෙනෙක් අපිට ආදරෙන් කතා කරනවට. ඉතිං අපි අපේ දරුවන්ටත් ඒ ගැන කියා දෙන්නම ඕනේ. වැඩිහිටියන්ට ගරු කරන්න ඔවුන් හුරු කළ යුතුමයි. සීයලා ආච්චිලට ගරු සරු ඇතිව කතා කරන්න, ඔවුන් යමක් විමසු විට ඒ පිළිබඳව උනන්දුවෙන් පිළිතුරු දෙන්න, උදව්වක් අවශ්‍ය අවස්ථාවේදී සහය ලබාදෙන්න දරුවන්ට පුංචි කාලේ ඉඳලම හුරු කළ යුතුයි.

තමා වෙනුවෙන් යම් දෙයක් කරන්නෙකුට ස්තුතිවන්ත වෙන්නට ඔබේ දරුවාට කියාදෙන්න. ත්‍යාගයක් ලබා දුන් විට, උපකාරයක් කළ විට වැනි අවස්ථාවලදී “ස්තුතියි / Thank you” කියන්නට දරුවෙකුට පුරුද්දක් තිබිය යුතුමය. තමා වෙනුවෙන් තවත් අයෙකු අතින් කෙරෙන පුංචිම පුංචි කැප කිරීමක් වුවද හෙළා දැකීමට නොව ඇගයීමට හැකි මානසිකත්වයක් දරුවෙකු තුළ ගොඩ නැංවීමේ හැකියාව ඇත්තේ මව්පියන් වන ඔබටමය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here