දරුවාගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු වෙන පාසල් පද්ධතියක් බවට ප‍්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා – ධම්මික අලහප්පේරුම – Saru News | සිංහල

0
7

දරුවාගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු වෙන පාසල් පද්ධතියක් බවට ප‍්‍රතිව්‍යුහගත කළ යුතු බව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති, ධම්මික අලහප්පේරුම අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.

එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක, ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ, සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම,

“මේ රටට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයෙන් දියුණු මානවයෙක් නිර්මාණය කර තිබෙනවා. වර්තමානය වනවිට අප හමුවේ තිබෙන්නේ මීට වඩා දියුණු අධ්‍යාපනයක් අපේ දරුවන්ට දෙන්නේ කොහොමද කියන එකයි. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබෙන්නේ ඒ අරමුණ ජයගැනීම වෙනුවෙන්. මේ දක්වා බලයේ සිටි අධ්‍යාපනයේ ප‍්‍රතිඵල පාසල්වලට දරුවන් ඇතුළත් කර ගන්න දෙමාපියන් සිදුකරන පොර කෑමෙන්ම පැහැදිලි වී තිබෙනවා.

ගුරුවරුන් වගේම දෙමාපියන් පහසුකම් සහිත පාසලකට ඇතුළත් වෙන්න අතිශයින් විනාශකාරී අන්තයකට ගිය තරගයක යෙදී සිටිනවා. කුඩාම වයසේ දරුවෙකුට නොදිය යුතු මානසික පීඩාවක් පහ වසරේ ශිෂ්‍යත්වයෙන් අත්කර දී තිබෙනවා. එතනින් බැරිවුණු දරුවන් සාමාන්‍ය පෙළ විභාගයේදී, A නවයක් අරගෙන පහසුකම් සහිත පාසලකට ඇතුළත් කරන්න තවත් අන්ත පීඩාවන් විඳිනවා. උසස් පෙළ විභාගය කියන්නේ තවත් සීමිත අවස්ථාවන් ගණනක් තිබෙන අධ්‍යාපනය හැකිළුණු විභාගයක්. තෝරා ගත් පාසල්වලට කේන්ද්‍රගත වූ සංවර්ධන ව්‍යාපෘති නිසා අවට තිබෙන කුඩා පාසල් අර්බුදයට ගියා.

ගුරුවරුන් හැටියටත් විදුහල්පතිවරුන් හැටියටත් දශක තුනක් පුරා වැටුප් විෂමතා සම්බන්ධයෙන් අරගල කළා. ආර්ථිකය බෙලහීන කළා. මේ නිසා සවස් කාලයේ ගුරුවරයා ගෙවල් ගානේ ගිහින් හෝ නගරයේ හෝල් එකක් තුළ ටියුෂන් කරන්න යොමු කළා. තරගවලට මුහුණ දෙන්න පාසලේ ඉගෙන ගන්න කරුණු මදි නිසා දරුවත් පාසලෙන් බැහැර වුණා. ශිෂ්‍යත්ව පන්තිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පාසලෙන් බැහැර වී ඇති බව ඔබ දන්නවා. ඒ විභාග වෙළඳ පොළකට ස්ථානගතවී තිබෙනවා. ආර්ථිකව බෙලහීන කළ ගුරුවරයාත් තරගයට මුහුණ දෙන දරුවාත් මේ වෙළඳපොලේදී හමුවෙනවා.

ඒ නිසා පළමුවෙන්ම දරුවන් සහ දෙමාපියන් මේ තරගයෙන් මුදා ගත යුතුයි. දරුවාගේ අධ්‍යාපනය යහපත් දිසාවකට ගෙන යා යුතුයි. මෙතෙක් සිටි පාලකයන් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඉලක්කගත කර තිබුණේ වෙළඳපොළක් බලාගෙන. ක‍්‍රමානුකූලව වෙළඳපොළට අධ්‍යාපනය ස්ථාන ගත කර රජය එයින් ඉවත් වෙන්න පාසල් පද්ධති දෙමාපියන්ට බාරදුන්නා. මේ තත්වය තාමත් වෙනස්කර ගන්න අපට නොහැකි වී තිබෙනවා. පාසල්වලින් සල්ලි එකතු කිරීමට ඇබ්බැහිවුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අධ්‍යාපන පරිවර්තනය කොයිතරම් වෙහෙසකර එකක්ද කියලා අපට දැනෙනවා.

දරුවාගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු වෙන පාසල් පද්ධතියක් බවට ප‍්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය මේ රටට අවශ්‍ය පුරවැසියෙක් නිර්මාණය කළා. එය නිසි ලෙස අර්ථ ගැන්වීමටයි වර්තමාන ආණ්ඩුවට අපි යෝජනා කරන්නේ. දැනට පවතින ආයතන නිදහස් අධ්‍යාපන අයිතිය ප‍්‍රතිව්‍යුහගත කිරීමට ප‍්‍රමාණවත් නොවෙන අතිශය දුර්වල මට්ටමක පවතින්නේ. ආර්ථික අර්බුදය හමුවේ උගතුන් බුද්ධිමතුන් විශාල ප‍්‍රමාණයක් රට හැරගිය නිසා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් අවශ්‍ය විශේෂඥයන් සොයා ගැනීමට අධ්‍යාපන ඇමතිතුමියට අතිශය දුෂ්කර වී තිබෙනවා. මේ තත්වයන් නිවැරදි කර ගැනීමෙන් අධ්‍යාපන පරිවර්තනය වෙනුවෙන් අපි සියලුම දෙනා පෙළ ගැසෙමු කියන ආරාධනය හැමදෙනාටම කරනවා.”


38

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here