දරුවන් ගැන සංවේදීව කල්පනා කරනවා මිස බලය බලහත්කාරයෙන් යොදවන්නේ නැහැ… – වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන – Saru News | සිංහල

0
8

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව දරුවන් ගැන සංවේදීව කල්පනා කරනවා මිස බලය බලහත්කාරයෙන් යොදවන්නේ නැති බව ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.

එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ, සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන,

“ජනතාව අපට බලය දුන්නේ ආර්ථික, දේශපාලනික සහ සමාජීය වශයෙන් පරිවර්තනයක් කරන්නයි. ගෙවීගිය වසර තුළ දේශපාලන සංස්කෘතියේ සිදුකළ පරිවර්තනය ඔබ සියලූම දෙනා දකිනවා. මේ වේදිකාවෙනුත් ඒ බව පේනවා. වෙනදා මේ විදිහට අමාත්‍යවරු තුන්දෙනෙක් එක වේදිකාවක සිටියා නම්, ආරක්ෂාවටම කොපමණ පිරිසක් පොලීසියෙන් දානවාද? ඒ වගේම ආර්ථික පරිවර්තනය සිදුකරමින් සිටින ආකාරය ගැන කෙටියෙන් කියන්නම්.

ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණෙන්නේ ඩොලර් බිලියන 3.2ක විදේශ විනිමය ලැබී තිබෙනවා. ‘දිත්වා’ සුළි කුණාටුව පැමිණියත් සංචාරකයන් එය නොතකා අපේ රටට ආවා. භාණ්ඩ හා සේවා අපනයනය, විදේශ ශ‍්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමය සහ ඍජු විදේශ ආයෝජන කියන සෑම ක්ෂේත‍්‍රයකින්ම අපේ රටේ ඩොලර් විනිමය අනුපාත ස්ථාවර කර තිබෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් රජයට ආදායම් ලබා ගැනීම නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් රුපියලයේ අගයත් ස්ථාවර කර තිබෙනවා. මේ ස්ථාවරත්වය නිසාම සුළි කුණාටුවෙන් සිදුවූ හානි ගොඩනගන්න රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමේ හැකියාව අපට ලැබුණා.

දේශපාලන සංස්කෘතිය වෙනස් කළත්, ආර්ථිකය ස්ථාවර කළත් මිනිසුන්ගේ සමාජ සංස්කෘතික පරිවර්තනයක් සිදු කිරීම මාස කිහිපයකින් හෝ අවුරුද්දකින් දෙකකින් කළ හැක්කක් නොවෙයි. ඒ සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ පරිවර්තනයේ අත්තිවාරම තමයි අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පරිවර්තනයක් සිදුකිරීම.

ඔබ දන්නවා පසුගිය දිනවල අධ්‍යාපනයේ පරිවර්තනවලට විරුද්ධව විවිධ ප‍්‍රචාර ගෙන ගියා. නමුත් අද පවතින අධ්‍යාපනය මොනවගේද කියලා අපි තේරුම් ගත යුතුයි. අලියෙක්, වඳුරෙක්, බූරුවෙක්, හරකෙක් ගෙන, ගස් නැගීමේ හැකියාව පරීක්ෂා කළොත් වඳුරා දිනන බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ගසක් පෙරළීමේ හැකියාව පරීක්ෂා කළොත් අලියා දිනන බව අපි කවුරුත් දන්නවා. පවතින රේඛීය අධ්‍යාපනය තුළත් කි‍්‍රයාත්මක වන හරය තිබෙන්නේ මේ ආකාරයෙන්. මේ අවුලේ වින්දිතයන් බවට අපේ දරුවන් සාතිෂය විශාල පිරිසක් ගොදුරුවී සිටිනවා. තමන්ගේ දක්ෂතාවයට හිමි තැන මේ අධ්‍යාපන රටාවෙන් ලැබී නැහැ. අපේ ප‍්‍රතිසංස්කරණ හරහා දක්ෂයන් තෝරා ගැනීමේ ක‍්‍රමෝපායන් පුළුල් කරනවා.

ඊජිප්තුවේ වසර දහස් ගණනකට පෙර හයිපතියා කියලා ගණිතඥවරියක් සිටියා. දේවවාදය විසින් යටකර තිබුණු මේ සමාජයේදී හයිපතියාව ක‍්‍රෘර ආකාරයෙන් මරා දමනවා. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ අගමැතිතුමියට හරිනි සහෝදරියට එල්ල කරන ප‍්‍රහාරයත් ඒ හයිපතියාට එල්ල කළ ක‍්‍රෘර චෝදනා වගේ බව මම දකිනවා. නමුත් මේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම කළ යුතුයි.

අපට තුනෙන් දෙකක බලය තිබුණත් ඒ බලය අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් යොදවන්න අපි කැමති නැහැ. මේ ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධ මාපියන්ගේ දරුවන් කිසියම් හෝ විචිකිච්ඡාවක් ඇතිව සිටින දරුවන් පාසලට යන්නේ මානසික දෙගිඩියාවකින්. දෙගිඩියාවකින් තොරව යන දරුවන් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණත් එක්ක අනුගත වෙනවා. අපි කල්පනා කරන්නේ දරුවන් සුළු පිරිසක් වුණත් ඔවුන් රටේ අනාගතය වෙනුවෙන් වැදගත් කොටස්කරුවන් නිසා හයවන ශ්‍රෙණියේ ප‍්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල්දමන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා. නමුත් එක වසරට ඇතුළත් වන සියලු දරුවන් මේ වසරේ සිටම අලුත් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාමාර්ග තුළින් ඉගෙන ගන්නවා. අපි ඒ තරම් සංවේදීව දරුවන් ගැන සිතනවා මිස බලය බලහත්කාරයෙන් යොදවන්නේ නැහැ.”


49

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here