දරුවන් ඉදිරියේ නොකල යුතු කතා

0
14


ඉස්සර කාලයේ පුංචි දරුවන්ට වැඩිහිටියන් ඉදිරියේ සිට ඔවුන්ගේ කතා බහට සවන් දීමේ අවසර තිබුනේ නැහැ. එදා ගම බොහොම පුංචියි. මේ නිසා ගමේ තොරතුරු බෙදා හරින අය අතර රෙදි නැන්දා නම් දරාපු පිරිසක් හිටියා.  රෙදි නැන්දා  ගෙන් ගෙට යමින් පිරිසිදු කිරීමට තිබෙන රෙදි පෙරෙදි වගේම ගමේ උදවියගේ කුණු කන්දල්ද අරගෙන එනවා.මේ වෙලාවට පුතා යන්න ඇතුලට කියල දරුවා එතැනින් ඉවත් කලා. එහෙම කරන්නේ දෙමව්පියන් දන්නවා දැන් ඇති වෙන කතා බහ දරුවන්ට නොගැලපෙන විදිහට සිද්ධ වෙන බව. ඒත් ඒ විදිහට දරුවා ඉවතට යැවීම සාධාරණත්  නැහැ.

එතකොට දරුවන්ට කුතුහලයක් ඇති වෙනවා. අම්මා මොනවාද මේ කතාබහ කරන්නේ කියන්නේ යනුවෙන්. ඒ නිසා දරුවා හොරෙන් හෝ මේ සංවාදයන්ට සවන් දෙනවා. ඒ නිසා දරුවාට නොදැනෙන විදිහට මේ ඈත් කිරීම සුදුසුයි. ඒ වගේම අපි දරුවන් ඉදිරියේ නොකළ යුතු කතා මොනවාද ?

අපි අතර තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි අනුන්ගේ අඩුපාඩු කතා කිරීම. ඒවා ඉතාම රසවත් මාතෘකාවන්. අපි දරුවන් ඉදිරියේ තබා ගෙන අසල්වැසියන්ගේ දුර්වලතාවයන් කතා කළ විට දරුවා එයින් අස්කොන් දැන ගන්නවා. මේවා යේ සීමාවන් දරුවා දන්නේ නැහැ. ඒනිසා ඔහු අතන මෙතන මේ තොරතුරු කියන්න පටන් ගන්නවා. එයින් ඇතැම් අවස්ථාවල අසල්වැසි නිවෙස් අතර ලොකු ගැටුම් ඇති වෙන්න පුලුවන්.

අපි අතර සම්පුර්නයෙන්ම පිරිසිදු අය ඇත්තේ නැහැ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා වගේ අපේ නැදෑයන් අතර තිබෙන අඩුපාඩු දරුවන් ඉදිරියේ කතා බහ කිරීම නරකයි. සමහර අවස්ථාවල නැන්දම්මා, නෑනාවරුන්ගෙන් ඔබ බොහෝ බැට කන්න ඇති. ඒවා දරුවාගේ හිතට ඇතුලත් වුනාම ඇති වෙන්නේ තමන්ගේ සනුහරය ගැන අප්‍රසාදයක්. ඒ නිසාම මේ වගේ අඩු පාඩු දරුවන් තබා ගෙන කතා බහ නොකළ යුතුයි.

දරුවන් ලෝකය දකින්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔහුට ඉඩ ලබා දීම ඉතා වැදගත්. ඒත් ළමා වයසට ඔරොත්තු නොදෙන දේවල් ඔවුන් කල් තබා දැන ගත යුතු නැහැ.

ඇතැම් දෙමව්පියන්ට කතා බහ සංවාදයන් ඉදිරියට යන විට තමා ඉන්නේ කොතැනද…කතා කරන්නේ ‍මොනවාද යන්න ගැන සීමාවක් නැහැ. අනවශ්‍ය විහිලු තහලු වගේම දෙපිට කැපෙන වචන ඉබේටම යොදා ගැනෙනවා. මේ පොඩි දරුවෙක් ඉදිරියේ සිටිනවා නේද යන හැඟිම් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ. ඒත් දෙමව්පියන් විදිහට හදිසියේවත් ඔබ ඉදිරියේ පොඩි දරුවෙක් සිටින්නේ නම් කතා බහ ගැන සීමාවන් පනවා ගන්න. විහිලු තහලු සහ අසංවර අසභ්‍ය වචන ඔබේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න.

සම වයස් කණ්ඩායම අතර ඔබේ දරුවා අනවශ්‍ය විදිහ මෝරා ගිය අයෙක් බවට පත් වීම වැඩිහිටියන්ගේ කතා බහ අහගෙන සිටින දරුවාට මෙයින් සමාජය ඉදිරියේ කිව යුතු සහ නොකිව යුතු දේ ගැන සීමාව දන්නේ නැහැ. ඒ නිසා ඔහු ට ඒවා අවශෝෂණය වෙන්නේ නැහැ. ජීරණය නොවුන දේවල් තැනින් තැන වමාරන විට එම දුර්ගන්ධය නිසා දරුවා සමාජයේ අප්‍රසාදයට පත් වෙනවා.

ඔබේ දරුවාගෙන් ඩැහැ ගත් යම් යම් දේවල් ඔවුුන් තමන්ගේ වැඩිහිටියන් සමග පවසනු ඇත. එවිට මව්පියන් වඩාත් කලබල වන්නේ මේ සමාගමට නොගැලපෙන අප්‍රසන්න දරුවෙක්ය යන සංකල්පයෙනුයි. ඒ නිසා ඔවුන් තමාගේ දරුවාට මේ විදිහට අවවාද කරනවා.

තමාගේ මිතුරු සමාගම හදිසියේම අතුරුදහන් වීම නිසා තදබල ලෙසින් ඇති වෙන මානසික කම්පනය නිසා දරුවා මහත් අපහසුතාවයට පත් වෙනවා.

වයසට නොගැලෙපෙන දේ සම වයස් කණ්ඩායම් අතර ප්‍රකාශ වුන විටදරුවන් ඒ බව තමන්ගේ ගුරුවරුන්ට කියා සිටිනවා. මේ අනවශ්‍ය පැහිච්ච සංකල්පයන් පංතියට ගෙනාවේ කවුද යන්නෙහි අග මුල සොයන විට එහි චූදිතයා බවට ඔබේ දරුවා පත් වෙනවා. නිදහට කරුනු එයින් ඉදිරියට අවශ්‍ය නැහැ. පංතිය තුලත් දරුවාට තිබෙන වටිනාකම නොදැනීම අහිමි වෙනවා.

දරුවන් ඇත්තටම මල් වගෙයි. මේ සංකල්පයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සත්‍ය බවට පත් වීමට නම් දරුවාගේ ලස්සන වගේම ගුණ සුවඳත් අවශ්‍යයි.මලක වෙතින් වුනත් දුර්ගන්ධයක් විහිදෙනවා නම් අපි ඒ මලට ඇගයීමක් ලබා දෙන්නේ නැහැ. දරුවන් වෙනුවෙනුත් එම සත්‍යය ඒ විදිහටම බලපානවා. මේ නිසා ඔබේ දරුවා මලක් මෙන් සුවඳින් සමාජයට දායාද කරන්න. දරුවා හැදෙන හැටි බලා ගෙන ඒ වෙනුවෙන් ඇවැසි මග කියා දෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here