දරුවන්ට දෙන ආහාර වෙනුවෙන් ජපන් උපදෙස්

0
17


දරුවන්ට ආහාර සැපයීම ඇත්තටම එතරම් පහසු කාර්යක් නොවෙයි. පොඩි එවුන්ගේ දඟකාර ගති පුරුදු සමග තුන්වේලටවත් අම්මා තාත්තාගේ හිත පිරෙන විදිහට ආහාර ලබා දීම එතරම් පහසු නැහැ. මේ නිසා නිතරම අම්මාගේ මුවින් නික්මෙන ”අනේ මේ දරුවන්ට කවන්න මං විඳින යුද්ධයක් “….යන අදහස ඔබටත් හොඳින් හුරු පුරුදු ඇති. ඒත් ඔබ කනස්සල්ලට පත් වෙන්න එපා. මේ තත්වය ළමා ලෝකයට බොහොම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ජපානයේ පර්යේෂකයන් විසින් දරුවන්ට ආහාර පිලිගන්වන්නේ කොහොමද යන්න අලලා අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔවුන්ගේ නිගමන අපිටත් ආදේශ කර ගැනීම එතරම් අපහසු නැහැ.

දරුවන්ට පිළියෙළ කරන ආහාර නිතරම වර්ණවත්ව සකස් කරන්න. එයින් අදහස් කරන්නේ කෘතිම වර්ණක ගැන නම් නොවේ. අපේ එළවළු වලින්ම දරුවන්ට ලස්සන ආහාර වේලක් සකස් කරන්න පුළුවන්. දරුවා වෙනුවෙන් ආහාර සකස් කරද්දී එකම වර්ණය වෙනුවට විවිධ වර්ණ තෝරා ගන්න. බෝංචි ගත්තොත් තවත් කොළ පැහැති එළවළුවක් වෙනුවට කැරට් වැනි තැඹිලි පැහැයේ සහ වට්ටක්කා වැනි කහ පැහැති එළවලුවක් තෝරා ගන්න. බීට් යුෂ තැවරුනාම දරුවන් ඉතා ප්‍රිය මනාපයි. මේ එළවළුවලින් ලැබෙන ගුණයන්ද විවිධයි. බීට් වැනි එළවළුවලින් රුධිරය පිරිසිදු වෙන අතර වට්ටක්කා සහ කැරට් විටමින් ” ඒ ” බහුල පෝෂකයක්. මේ නිසා වර්ණවත් ආහාර මගින් දරුවාට රුචිය වගේම ගුණයත් ඉතා පහසුවෙන් ලබා දෙන්න පුළුවන්.

හැම දෙනෙක්ම වෙනස්වීමට කැමැතියි. දරුවන් වෙනුවෙනුත් මේ තත්වය වෙනසක් නැහැ. හැමදාම එකම රටාවට පිළියෙළ වෙන බත් වෙනුවට කහ බත්, එලවළු බත්, තෙම්පරාදු බත් සහ කිරි බත් වැනි විවිධ විදිහට සකස් කරන්න පුළුවන්. එළවළු වුනත් එහෙමයි. බෝංචි කිරට උයනවාට අමතරව තෙම්පරාදුවක්, තම්බා ගැනීමට පුළුවන්. කැරට් සලාද එහෙම නැත්නම් මැල්ලුම් වගේ පිළියෙළ වුනාම ඇති වෙන විවිධත්වය දරුවාගේ ආහාර රැචිය වර්ධනය වෙන්නේ ඔබත් නොදැනුවත්මයි. බත් වගේම ගුණ ලබා දෙන නූඩ්ල්ස්, පැස්ටා, මැකරෝනි දරුවන් බොහොම ප්‍රියකරනවා. පිට්ටු පිලියෙල කරන විට එළවලු සහ පලා වර්ග මිශ්‍ර කර ගත්තාම අපේ දරුවා කොළ මැල්ලුම් කන්නේ නැහැ කියන මැසිවිල්ලත් නොදැනම නැවතෙයි.

හැම ගෙදරකම පුංචි දරුවෙක් සිටින විට අනේ බබාට බත් කවන්න ඕන යනුවෙන් නිතරම ගැයෙන යාතිකාව නවත්වන්න. මේ ගැන කණ වැකෙන විට දරුවා නොදැනම එය ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා. ඒ නිසා බත් කැවීම යුද්ධයක් නොව සාමාන්‍ය සිද්ධියක් බවට පත් කර ගන්න. දරුවන් තමා වෙනුවෙන් අවධානය දක්වන විට ඔවුන් එය ආයුධයක් කරගෙන අනවශ්‍ය කරදරයක් මවුපියන්ට ලබා දෙනවා. මේ නිසා බත් කැවීම ජීවිතයේ සාමාන්‍ය දෙයක් විදිහට හිතුවොත් එය කවදාවත් දරුවාට වගේම ඔබටත් වධයක් වෙන්නේ නැහැ.

දරුවාට බත් කවන්න වෙනම ස්ථානයක් වෙන් කරන්න එපා. ඔබ සමගම දරුවාත් තබා ගන්න. ඇතැම් දරුවන්ට ලොකු මහත් වෙන තෙක්ම ඔවුන් වෙනම ස්ථානගත කරනු ඇත. මේ තත්වය නිසා දරුවාට ආහාර පිලිබඳ ව උනන්දු හීන වෙනු ඇත. ඒ නිසා ඔබ සමගම මේසයට දරුවාද සමීප කරගන්න. එවිට ආහාර පුරුදු ගැනත් දරුවා යම් අධ්‍යනයක් ලබනු ඇත. ඇතැම් පුද්ගලයන් ලොකු මහත් වුනත් ඉඳුල් අතින් වීදුරුව ඇල්ලීම, හඬනගමින් ආහාර සැපීම, ඉඳුල් අතින් හැඳි ඇල්ලීම, සුරුස් ශබ්ද නගමින් වතුර බීම වැනි අප්‍රසන්න ආහාර පිලිවෙත් අනුගමනය කරනු ඇත. මීට හේතුව වන්නේ බාල කාලයේදී දරුවා හුදෙකලා කිරීම නිසා ඔවුන්ගේ වැරදි අඩුපාඩු හඳුනා ගැනීම අපහසු වීමයි.

”පුතා මේ බත් කට විතරයි…අන්තිම බත් කට “විදිහට දරුවාට ඇවිටිලි නොකරන ලෙසටත් ජපානයේ පර්යේෂකයන් විසින් උපදෙස් දී ඇත. ඔබ බත් බෙදා ඔහුට කිසිම ඇවිටිල්ලක් නොකර පැත්තක තබන්න. දරුවාම ගොස් මේ පිගානේ තිබෙන දේ ආහාරයට ගනු ඇත. බොහෝ මව්පියන් කියන මේ දෙය ඔබටත් හොදින් හුරු පුරුදු ඇති. ගෙදරදී කන්නේ නැහැ. පිටට ගියාම ලැජ්ජාවේ බැහැ. අපි කියන්නේ ළමයි කන්නේ නැහැ කියලා. ඒත් බේරන්න බැරි විදිහට දෙක තුන ඉල්ලනවා. මේ තත්වයට හේතුව එතැනදී දරුවාට කිසිවෙකුගේ අවධානය සහ පෙරැත්තය නොමැති වීමයි. මේ නිසා අනවශ්‍ය ලෙසින් වූ ඇවිටිල්ල දරුවන්ගේ ආහාරයට තිබෙන රුචියට බලපාන බැව් ජපානයේ සිදු කරන ලද අධ්‍යනය මගින් හඳුනා ගෙන ඇත.

ආහාර ගැනීමෙන් පසුව කන බොන පිඟාන කෝප්පය සෝදා තැබීම අපේ සම්ප්‍රදායක් බව හැබෑව. එය බාල කාලයේ පටන්ම හුරු පුරුදු කළ යුතුයි. ඒත් දරුවන්ගේ මානසිකත්වය අපේ සම්ප්‍රදායන් සහ සිරිත් ඉදිරියේ කම්පනය වෙනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුයි. ඇතැම් දෙමව්පියන් දරුවන්ගේ සියලු ආචාර ධර්ම බාල කාලයේ පටන් ගොඩ නගන්නට ගන්නා උත්සාහය නිසා තදබල ලෙසින් විධානයන් බලපවත්වනවා. ඔවුන් හිතන්නේ මේ ගති පුරුදු බාල කාලය් පටන් ගොඩ නගා නොගත හොත් අනාගතයේදී එය ගැටළු සහගත විය හැකි බවයි. ඒත් ජපානයේ සිදු කරන ලද මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ අනවශ්‍ය ලෙසින් මෙම බලපෑම දරුවාගේ ආහාර වෙනුවෙන් ඇති රුචිය බ  දමන බවයි. ඒ නිසා පිඟාන සේදීම අත්‍යවශ්‍ය විධානයක් බවට පත් නොවුන විට දරුවාගේ ආහාර රුචිය පිලිබඳව උනන්දුව ගොඩ නැගෙන බවයි.

ඔබට දරුවාට ලබා දිය යුතු පලා වර්ග, පළතුරු වෙනුවෙන් දරුවා උනන්දු නොවනු ඇත. එවන් අවස්ථාවලදී එම ආහාර අතිරේක හෝ අමතර ආහාර වෙනුවෙන් යොදා ගන්න. කොළ මැල්ලුම් අප්‍රිය කරන දරුවාගේ සුප් පිළියෙළ කරද්දී ගොටු කොළ වැනි පලා එක් කළ හැක. සැන්ඩ්විච් පිළියෙළ කරන විටත් සිහින්ව ලියන ලද පලා , කැරට් වැනි දේ එක් කරන්න. පළතුරු වෙනුවෙන් අප්‍රිය නම් පළතුරු යුෂ ලෙසින් ලබා දෙන්න. දිවුල්, පැපොල්, අනෝදා වගේම මිශ්‍ර පළතුරු ලෙසින් ලබා දෙන යුෂ මගින් අනේ පළතුරක් කන්නෙම නැහැ යන මැසිවිල්ලෙන් ඔබ නිදහස් වෙනු ඇත. ඇත්තටම පළතුරු යනු ලෙඩට පිළිතුරයි. මේ නිසා පළතුරු ප්‍රතික්ෂේප කරන දරුවාට යුෂ වගේම සලාද ලෙසින්ද පළතුරු ලබා දීම එතරම් ගැටළුවක් නොවනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here