තෙල් මිල පාලනයට G7 රටවල් තෙල් සංචිත මුදා හැරීමට එකඟ වෙයි

0
4

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළ කර ඇති බව විදෙස් වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හැරීමට සූදානම් වන බව සඳහන් වේ.

ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන වැදගත් මාවතක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් අපනයනය මෙම ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇත.

මෙය තෙල් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

වාර්තාවලට අනුව, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තෙල් බැරල් මිලියන 300ක්  400ක් දක්වා ප්‍රමාණයක් මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තා පවසයි.

මෙය 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ මුදා හැරි ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.

කෙසේවෙතත්, බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම පියවර කෙටිකාලීන විසඳුමක් පමණක් වනු ඇති බවය.

මෙම මුදා හැරීමට නියමිත ප්‍රමාණය සෑහෙන්නේ ලෝකයේ දින 3ක් හෝ 4ක සමස්ත පරිභෝජනයට පමණක් බවද ඔවුන් පෙන්වා දෙති.

තෙල් සංචිත යනු නැවත නැවත භාවිතා කළ හැකි දෙයක් නොවන බැවින්, වරක් මුදා හැරි පසු එම සංචිත හිස් වන බව විශේෂඥයන් අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් සියල්ලම අවම වශයෙන් දින 90කට සෑහෙන තෙල් සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය වේ.

තෙල් සංචිත මුදා හැරීමේ පුවතත් සමඟ දැනට වෙළඳපොළේ මිල යම්තාක් දුරකට ස්ථාවර වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, පිරිපහදු කිරීමේ ධාරිතාව සීමිත වීම ඉදිරියේදී තවත් ගැටලුවක් විය හැකි බව විදෙස් පුවත් වාර්තා කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here