තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ – ලංකාවට මොකද වෙන්නේ ?

0
16


ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක් (සංක්‍රමණිකයින් නොවන) ඇමරිකානුවන් හිතන්නේ මේ බදු වැරදි සහ අසාධාරණ බවයි. එහෙම කියන්නේ සහ හිතන්නේ අනෙක් රටවල් වල පැත්තෙන් බලලා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් මේ වගේ බදු නිසා අකාර්යක්ෂමතාවය ඉහළ යන බව පෙන්වා දෙන්න අපහසු නැහැ. නමුත් කරුණක් ලෙස ගත්තොත් දැන් මේ බදු පනවා අවසන්.

ලංකාවේ පැත්තෙන් ගත්තොත් මෙය අලුත් ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන සැබෑ අභියෝගයක්. ආණ්ඩුවක් පරීක්ෂාවට ලක් වන්නේ මේ විදිහේ සැබෑ අභියෝග හමුවේදීයි. මේ විදිහටම, කෝවිඩ් වසංගතය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වුනු සැබෑ අභියෝගයක්. කෝවිඩ් වසංගතය ආවේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂට ඔය තරම් ඉක්මණින් ගෙදර යන්න වෙන්නේ නැහැ.

ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව මෙතෙක් කල් බොහෝ දුරට කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන එක. දේශපාලනිකව ඒකත් අසාර්ථක ප්‍රවේශයක් නෙමෙයි. යම් සීමාවක් දක්වා, වැඩක් නොකළත්, ජන මනස නිවැරදිව කියවා කළමණාකරනය කිරීම මගින් බලයේ රැඳී ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට සාර්ථක විය නොහැකි වූයේ මෙය කළ නොහැකි වූ නිසා. නමුත් මාලිමා ආණ්ඩුව මේ වැඩේ සාර්ථකව කරමින් සිටියා. හැබැයි ඇත්ත අභියෝගයක් හමුවේ මේ ප්‍රවේශය තව දුරටත් හරියන්නේ නැහැ.

දැන් ලංකාවට මුහුණ දෙන්න සිදු වී තිබෙන තත්ත්වය කෝවිඩ් වසංගතයටත් වඩා භයානක තත්ත්වයක්. මෙහි බරපතලකම කී දෙනෙකුට කොයි තරමින් තේරෙනවද කියා මා දන්නේ නැහැ. කෝවිඩ් වසංගතය වසරකින් හෝ දෙකකින් අවසන් වීමට නියමිතව තිබුණු අභියෝගයක්. මෙය එවැන්නක් නෙමෙයි.

දැනට ආණ්ඩුව විසින් අනුගමනය කර තිබෙන ප්‍රවේශය ආණ්ඩුවකට අනුගමනය කළ හැකි හොඳම දේශපාලනික ප්‍රවේශයයි. කවුරු බලයේ සිටියත්, ලංකාව වැනි රටක ආණ්ඩුවකට, මෙවැනි අභියෝගයක් හමුවේ කෙටිකාලීනව මීට වඩා දෙයක් කළ නොහැකියි. නමුත් අවාසනාවකට, මේ ප්‍රවේශයෙන් වුනත් තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වෙයි කියා හිතන්න අමාරුයි. ඒ නිසා, අමාරුවෙන් ගොඩ නගා ගත් ආර්ථිකය නැවත අවදානම් කලාපයකට යාමේ බැහැර කළ නොහැකි ඉඩක් පෙනෙන්නට තිබෙනවා.

ඇමරිකාවේ මේ තීරුබදු යුද්ධය නිසා ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය තුළ කොහොමටත් සිදු වීමට නියමිතව තිබුණු සුසමාදර්ශීය වෙනසක් වඩා ඉක්මණින් සිදු වෙමින් තිබෙනවා. භූ දේශපාලනය හා සංස්කෘතික කරුණු අත හැර මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් පමණක් සිදු වී ඇති සහ සිදු වීමට නියමිත දේ විග්‍රහ කර ගන්නා අයට චිත්‍රයේ කොටසක් නොපෙනී යාම පුදුමයක් නෙමෙයි. කොහොම වුනත් පොතක් ලියන්න තරම් කරුණු රැසක් මෙවැනි සටහනකින් විස්තර කරන්න බැහැ. ඒ නිසා, මෙම සටහනෙන් වෙනස් වෙමින් පවතින ලෝක තත්ත්වය පිළිබඳ පුළුල් විග්‍රහයක් කරන්න අදහස් කරන්නේ නැහැ.

ජාත්‍යන්තර වෙළඳාම හරහා ලෝකය එකම කලාපයක් වීම බොහෝ දෙනෙකුගේ සිහින ලෝක වල තිබුණු දෙයක්. නමුත් ඇත්තටම සිදු වෙමින් පවතින්නේ ලෝකය භූගෝලීය කලාප ලෙස එකතු වීමක්. ඉදිරි දශකය තුළ මේ කලාප වල සීමාවන් වඩා හොඳින් ලකුණු වෙන්න පුළුවන්. ඇමරිකානුවන් විශාල පිරිසක් ඇතුළු ගොඩක් අය දකින “ඇමරිකාව තමන්ගේ මිතුරන් අහිමි කර ගැනීම” ඇස් බැන්දුමක් පමණයි. ඒ දෙසම බලාගෙන ඇස් ගිණිකණ වට්ටවා ගන්නා අයට ඇත්තටම සිදු වෙමින් තිබෙන දෙය හරියටම දැනගත හැකි වනු ඇත්තේ යම් කාලයකට පසුවයි.

ඇමරිකාව අලුත් තීරු බදු පැනවූයේ දත්ත මත පදනම්ව, නිශ්චිත ගණිතමය සූත්‍රයකට අනුවයි. එහිදී දේශපාලනික කරුණු සැලකිල්ලට ගැනුනේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන්නේ එම සූත්‍රය මගින් ඇඳුනු ලෝක තීරු බදු සිතියමයි. ඒ දෙස බැලු විට තීරුබදු බල බලපෑම කලාප අනුව වෙනස් වන ආකාරය පැහැදිලිව දැකිය හැකියි.

ඇමරිකානු මහාද්වීපය මුළුමනින්ම මෙන් තිබෙන්නේ 10% බදු කලාපයේ. 20% ඉක්මවන තීරුබදු වලට මුහුණ දෙන්න වෙන්නේ බොහෝ දුරටම ආසියානු කලාපයටයි. ඒ අනුව, ජාත්‍යන්තර වෙළඳාම තුළ ඇමරිකාවට මුහුණ දීමට සිදුව තිබුණු ප්‍රධාන අභියෝගය ආසියානු කලාපය බව පැහැදිලියි. විශාලතම නැගීගෙන එන ආර්ථිකයන් දෙකක් වන චීනය සහ ඉන්දියාව මෙම කලාපයේ පිහිටා තිබීම ඊට හේතුවයි.

බැලූ බැල්මටම ඇමරිකාව විසින් ලෝකයේ සෑම රටකටම බදු පනවා (“දඬුවම් දී”) ඇති බවක් පෙනුනත් ඇත්තටම සිදු වී තිබෙන්නේ ලෝකයේ රටවල් කොටස් දෙකකට බෙදා එයින් එක් කොටසකට “දඬුවම් දීමයි”. මේ බදු ප්‍රතිපත්තිය නිසා අවසාන වශයෙන් 10% රටවලට අවාසියකට වඩා සිදු වන්නේ වාසියක්. එමෙන්ම, ලංකාව වැනි රටකට සිදු විය හැකි අවාසිය පෙනෙනවාට වඩා වැඩියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here