ළමා දිනය සැමරීම ඇරඹී වසර 167 ගෙවී ගිය ඉතිහාසයට වඩා වර්තමානයේ ළමා පරපුර රැකගැනීම සඳහා වැඩිහිටියන් මූණදෙන අභියෝගය අතිශය බැරෑරුම් ය. 1857 මුල්ම ළමා දිනය සැමරීමට පුරෝගාමී වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා එදා දුටු ළමා ලෝකයේ අර්බුද අද සපුරාම වෙනස් ය.
ගතවූ සියවස් දෙකේ ළමා ලෝකයේ අභියෝග වුණේ දරුවන්ගේ පෝෂණය, කායික ආරක්ෂාව හා සෞඛ්‍ය ආරක්ෂාව වැනි සමාජයට පහසුවෙන් ලබාදිය හැකි තත්ත්වයන් කිහිපයකි.
2024 – ලෝක ළමා දිනය තේමාව වූයේ දරුවන් රැකගමු – සමසේ සලකමු යන්නය. මෙවර 2025 එය “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යනුවෙනි. මෙම තේමාවන් තුළ පවා අන්තර්ගත කරුණුවලින් ඔබ්බට වර්තමාන සමාජය දෙස බැලීම සිදුව තිබේ.
ළමුන් සම්බන්ධයෙන් මෙතෙක් ගලා ආ අර්බුද මාලාව තවමත් පවතී. ඒවා අතර ළමා නිවාස සම්බන්ධ ගැටලු, වීදි දරුවන්, මත්ද්‍රව්‍ය, යුද ගැටුම් නිසා අනාථවීම, ළමා අතවර, ලිංගික හිංසනය හා දරිද්‍රතාවය ආදී ය එලෙසම පැවැතිය දී නවීන තාක්ෂණය නිසා ළමා මනසට කෙරෙන බලපෑම, සමාජ සම්බන්ධතා ගිළිහීම, ස්වභාවික පරිසරයෙන් ඈත්වීම, සහජීවනය පිළිබඳ ආකල්ප, දෙමාපිය සෙනෙහස, පෞරුෂ වර්ධනය හා බුද්ධි වර්ධනය සම්බන්ධයෙන් ඇතිවන ශීඝ්‍ර බලපෑම ඉදිරියට පැමිණ තිබේ.
රටක් හැටියට ශ්‍රී ලංකාව යුද්ධයෙන් විපතට පත්වූ දෙපාර්ශ්වයේම පවුල්වල දරුවන්ට ඇතිවූ බලපෑම, දිළිඳුකම, පෝෂණය, අධ්‍යාපනය, මව්වරුන් විදේශගතවීම, ළමා අපචාර, මත්ද්‍රව්‍ය භාවිතය, අඩු වයස් විවාහ, පරිවාස ගතකිරීම් හා දෙමාපියන්ගේ විවාහ දෙදරායෑම නිසා වන බලපෑම ආදී නානාවිධ ප්‍රශ්න හමුවේ පීඩා විඳින ළමා පරපුරක් ගැන කතා කරන්නෙමු. ඒ සමාජයේ පහළ ස්ථරයේ ය. ඉහළ ස්ථරයේ දී තාක්ෂණය නිසා සමාජයට හා පවුලට අනුකලන නොවන, අන්‍යයන් ගැන සංවේදීතාවයක් නැති, රසඥතාවක් නොවන, පරාර්ථකාමී නැති, අවට පරිසරය – විනෝදය – විවේකය ගැන ආකල්පයක් නැති, කායික හෝ මානසික වශයෙන් ස්වශක්තියක් නැති හා තීරණ ගැනීමේ පෞරුෂය නැති තවත් පිරිසක් ගැන කතිකාවතකට පැමිණ ඇත.
වසර සිය ගණනකට පෙර පැවති ලෝකය හා සැසඳීමේදී නව ලොව දැනුම ඉතා ඉක්මනින් යාවත්කාලීන වේ. වසර 1900 දී පැවති දැනුම දෙගුණ වීමට වසර 25ක් පමණ ගත වුවත්, වසර 2019 දී ඇති දැනුම දෙගුණ වීමට ගත වන්නේ මාස 12ක් වැනි සුළු කාලයක් පමණි. මෙය අනාගතයේදී පැය 24 ක් දක්වා කෙටි වේ යැයි ගණන් බලා ඇත. එසේ නම්, මේ පුපුරා යන දැනුම ග්‍රහණය කර ගැනීමට, එය භාවිතාවට, ඒ දැනුම් ප්‍රවාහය හමුවේ ඉදිරියට යෑමට හෝ අවම වශයෙන් නොනැසී පැවැත්මට, අප ඒ දැනුම් ප්‍රවාහයෙන් කිසියම් හෝ ප්‍රමාණයක් උකහා ගැනීමට හැකියාව තිබිය යුතුය. මේ දැනුම ලබා ගැනීමට අපට සාම්ප්‍රදායික ක්‍රම වූ පාඨශාලීය උගැන්වීම් මෙන්ම, නූතන අන්තර්ජාල අධ්‍යාපනය ද එක සේ වැදගත් වේ. දරුවෝ සියල්ල කෘත්‍රීම බුද්ධියෙන් සිදුකරති. විෂයීය කරුණු, බාහිර දැනුම, නිර්මාණ මෙන්ම පර්යේෂණ හා සිතීම පවා කෘත්‍රිම බුද්ධියට භාර කරති.
එසේ ලෝකය කෙතරම් ඉදිරියට ගියත්, සමහර සාම්ප්‍රදායික ක්‍රමවලින් සමාජය බැහැරට නොයන්නේ එහි ඇති වැදගත්කම සහ ක්‍රමානුකූල බව නිසාය.
මේ තරගයට අපේ රටේ දරුවන් තරමක් දුරට හෝ හුරුවෙමින් සිටින බව නොරහසකි. එය ග්‍රාමීය, නාගරික හෝ වෙන යම් කාණ්ඩගත කිරීම් අනුව වෙනස් විය හැකි නමුත් මේ තුළ දරුවන්ගේ මානුෂීය ගුණධර්ම, ඔරොත්තු දීමේ හැකියාව, ඉවසා දරාගැනීම, වෙනසට වෙනස්වීමට හුරුවීම, අන්‍යොන්‍ය ගරුත්වය, බෙදාහදා ගැනීම, පරිසරය ගැන අවධියෙන් සිටීම, බහු විෂයීය දැනුම, ඤාණය හා දැක්ම සම්බන්ධයෙන් ඇත්තේ ඛේදනීය තත්ත්වයකි.
දශක කිහිපයක් තිස්සේ ඇතිවූ මෙම තත්ත්වය තුළ අද වනවිට පොදු වැඩකට සහභාගිවන සමාජශීලී තරුණයන් දැකගැනීමට පවා නැති තැනට රට පත්ව ඇත. අතීතයේ මළ ගෙදරක, පොදු උත්සවයක හෝ අන්‍යයන්ට පිහිටවීමක් උදෙසා රැස්වූ තරුණ පෙළ වර්තමානයට අහිමිවීම අපි අත්දකින්නෙමු. එපමණක් නොව කර්මාන්ත ශාලාවක, ව්‍යාපාරයක, රැකියා අවස්ථාවක හෝ සංවිධානයක උනන්දුවෙන් වෘත්තියක නියැළිය හැකි යෞවනයකු, යෞවනියක අපට අහිමි ය. ක්‍රීඩාවෙන්, ආගමින් හා ලලිත කලාවන්ගෙන් දරුවෝ පෝෂණය නොවෙති.
වගකීමක් දැරිය හැකි තරුණයෙක් විරළ ය. සියල්ලටම ඔවුන් විසඳුම් සොයන්නේ අන්තර්ජාලයෙනි. විසඳා ගැනීමට නොහැකි බරපතළ ප්‍රශ්නයකට මූණ පෑ විට ඊට කෙටි උත්තරයක් සොයන්නේ ද (සියදිවි හානිකර ගැනීම විය හැක) අන්තර්ජාලයෙනි.
මීට දශක කීපයකට පෙර පැවැතියාට වඩා තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය හා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන පිරිස වර්තමානයේ අතිශය ඉහළ ය. එනිසා නුදුරු අනාගතයට හිමි තරුණයාගෙන් අපේක්ෂා කරන සමාජ ජීවිතය ඉතිරිව තිබිය නොහැක.
මෙනිසා දේශයට ගැළපෙන, මව්පියන්, සමාජය හා පරිසරය ගැන ආකල්ප ඇති පෞරුෂයක් සහිතවම නවීණ තාක්ෂණික දැනුමින් සන්නද්ධ දරුවකු නිර්මාණය කිරීමේ වගකීම අපට පවතී. භෞතික දේ අප කොතරම් සංවර්ධනය කළත් ඒවා භාරගැනීම හෝ භූක්ති විඳීමට හැකියාවක්, රසඥතාවක් හෝ ශක්තියක් නැති දරුවකු නිර්මාණය කරගන්නේ නම් අපගේ මේ කිසිම ප්‍රයත්නයකින් පලක් නොවනු ඇත.
එහෙයින් දරුවාට දිය යුතු දේ නොදිය යුතු දේ, දියයුතු ප්‍රමාණය, දෙමාපියන් ලෙස ලබාදිය යුතු සෙනෙහස හා රැකවරණය, නිර්මාණශීලීභාවය, අධ්‍යාපන අවස්ථා, රාජ්‍යයක් ලෙස ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු සුරක්ෂිතතාවය, තිරසාරත්වය පිළිබඳ ජීවන දර්ශනය මෙන්ම ලෝක ළමා ප්‍රඥප්තීන්ට අනුකූල අවශ්‍යතා සම්බන්ධ නීත්‍යනුකූල භාවයන් ආදිය මූලික කරගත් ළමා ප්‍රතිපත්තියකට අප කඩිනමින් යොමුවිය යුතු වේ. මේ නිසා ළමා දින සැමරීමේ හරය ලෙස තෑගි භෝග රසකැවිලි, සංදර්ශන හා ප්‍රශස්තිවලින් ඔබ්බට කඩිනම් නව වැඩපිළිවෙළකට රට ගමන් කළ යුතුව පවතී.
Saru FM Media