ඔබ අලුත විවාහ වුණු යුවතියක් වෙන්න ඇති. නැත්නම් උසස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ රැකියාව නිසා ගෙදරින් පිට වුණු කෙනෙක් වෙන්න ඇති. වෙනදා වගේ ඔබේ කතාබහ, කරදර නැතුව අම්මා ගමේ ගෙදර බොහොම පාලුවෙන් ඇති.
නිවාඩු දවසට අම්මා එක්ක සතුටු වෙන්න ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් තමයි මේ..
කුඩා දවස්වල අම්මා ඔබ ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නු හැටි මතකද? දැන් අම්මා විශ්‍රාමිකයි. ඉස්සර තරම් සල්ලි නෑ. ඔබට පුලුවන් අම්මා එක්ක සාප්පු සවාරියක ගිහින් අම්මා කැමති ඇඳුම්, පොත්පත් සහ ඇය කැමති තවත් දේ අරන් දෙන්න. ඇයත් එක්ක නිදහස් අවන්හලකට ගිහින් ආහාර ගන්න. අම්මා අසනීප තත්ව නිසා වෙනදා ආහාරයට නොගන්නා ආහාරයක් ඕඩර් කරලා අම්මාගේ ඒකාකාරී ආහාර රටාව පොඩ්ඩක් වෙනස් කරන්නත් ඔබට පුලුවන්.
අම්මා එක්ක මුළුතැන්ගෙයට වෙලා අම්මගේ කුකරි පාඩම් ඉගෙන ගන්න ඔබට පුලුවන්. ඒ විතරක් නෙවෙයි. ඔබ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න අලුත් අලුත් කෑම වර්ග අම්මාට උගන්වන්නත් ඔබට පුලුවන්. ඒක දෙදෙනාටම හරිම සුන්දර අත්දැකීමක් වේවි.
නිවස කිට්ටුව තියන ආරණ්‍යයකට, සිල්මාතාවන්ගේ ආරණ්‍යයකට අම්මා එක්ක එකතු වෙලා දානයක් උයාගෙන යන්නත් ඔබට පුලුවන්. ඔබ වෙනත් ආගමක නම් අම්මා එක්ක ඇය වඩා ප්‍රිය කරන ආගමික ස්ථානයකට ගිහින් ආගමික කටයුතු කරන්න ඔබට පුලුවන්. ඒ වගේම ළමා නිවාසයකට, වැඩිහිටි නිවාසයකට යන්න, මේ මොකුත් නැත්නම් පාරේ ඉන්න අසරණ සුනඛයන්ට කෑම වේලක් දෙන්න වගේ හිත සතුටු කරන දෙයක් ඔබට අම්මා එක්ක කරන්න පුලුවන්.
අලුත් කෑමක්, මැහුම් ගෙතුම් වැඩක්, නිවසේ බඩු මුට්ටු පිළිවෙල වෙනස් කිරීම, උද්‍යානයේ අලුත් මල් පැළ හෝ පළතුරු එළවළු සිටුවීම ඔබට අම්මා එක්කම කරන්න පුලුවන්. ඇය සුරතල් සතුන්ට කැමැත්තක් දක්වනවා නම් මාළු ටැංකියක්, කුඩා බලු පැටවෙක් හෝ පූස් පැටවෙක් ඇයට තෑගි කරන්නත් ඔබට පුලුවන්.
සැලසුම් නොකර විනෝද ගමනක් යාම- හදිසියේම අම්මා සූදානම් කරගෙන එක දවසින් ගිහින් එන්න පුලුවන් විදියේ විනෝද ගමනක් යාමත් අම්මට සොඳුරු මතකයක් ඉතිරි කර දෙනවා ඒකාන්තයි.
-නිබන්ධිකා-
Saru FM Media