ජනාධිපති අරමුදලට ලැබෙන වෛද්‍යාධාර අයදුම්පත් ප්‍රමාණය ඉහළට

0
4

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම සියයට 59කින් ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම අංශය සඳහන් කළේ,  2025 වසරේ ජනාධිපති අරමුදල වෙත අයදුම්පත් 5277ක් ලැබී ඇති බවය.  

2024 වසරේ ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 3,313ක් වන අතර 2023 වසරේ ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 3456ක් බව එහි දැක්වෙයි. 

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 වසරට වඩා 2025 වසරේදී අයදුම්පත් 1964ක් ලැබී තිබේ.

එම අයදුම්කරුවන් අතරින් සියයට 70කට වැඩි පිරිසකට මේ වන විට වෛද්‍යාධාර ලබා දීමද අවසන් කර ඇත.

ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් ලැබෙමින් පවතින බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

2025 වසරේදී  උතුරු පළාතේ අයදුම් පත් යොමු කිරීම සියයට 253කින් වර්ධනයවී ඇති අතර නැගෙනහිර පළාතේ සියයට 135කින්, මධ්‍යම පළාතේ සියයට 116කින් සහ ඌව පළාතේ 108%කින් අයදුම්පත් ලැබීම ඉහළ ගොස් තිබේ.

ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම 2025 වසරේ පෙබරවාරි 07 වන දා සිට ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට ලැබේ. 

එනම්, වසර 47ක කාලයක් කොළඹට සීමාවී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදාවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here