2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71ක වර්ධනයක් ළඟා කරමින් මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,532.6ක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ මෙම ආදායම් වාර්තා සමඟම මෙරට විදේශ වෙෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බවයි.
ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,532.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2026 ජනවාරි මාසයේ දී වාර්තා වූ මෙම ආදායම වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ යහපත් ආරම්භයක් වන අතර ජාත්‍යන්තර වෙෙළඳපළ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම, අඛණ්ඩ කාර්මික ධාරිතාව සහ උපායමාර්ගික අපනයන සංවර්ධන මුලපිරීම් මඟින් රටේ අපනයන අංශයේ වර්ධනය වන තරගකාරිත්වය මෙමඟින් මනාව පැහැදිලි වේ. නිසි ප්‍රතිපත්තිමය සහයෝගය සහ වෙෙළඳපළ විවිධාංගීකරණ ප්රයත්නයන් සමඟින්, 2026 වසර පුරාම මෙම සාධනීය ප්‍රවණතාව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව මනාව සූදානම්ව සිටින බව ද සභාපතිවරයා කීය.
2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය පෙර වසරට සාපේක්ෂව 10.66%ක වර්ධනයක් වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,165.02 දක්වා ළඟා වී ඇත. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන ඇතුළුව ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව මෙම වර්ධනය සිදුවී තිබේ. එසේම, 2026 ජනවාරි මාසය සඳහා සේවා අපනයන ඉපැයීම් 24.59%කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 367.55ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Saru News















