ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන ජනතාවගේ බලාපොරොත්තු සුන් කළ පාකිස්තාන ක්‍රිකට් පිලේ එක් ක්රීඩකයකුට පාකිස්තාන රුපියල් ලක්ෂ 50ක් බැගින් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 55ක) දඩයක් නියම කර තිබේ.
ක්‍රීඩකයන් හොඳින් දස්කම් දක්වද්දී ත්‍යාග පිරිනමන බවත්, දුර්වල ප්‍රතිඵල ලබා දෙන අවස්ථාවලදී දඬුවම්වලට මුහුණ දිය යුතු බවත් සඳහන් කරමින් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් මේ දඬුවම නියම කොට ඇත.
සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තරගාවලියේ සුපිරි 8 වටයෙන් ඉවතට විසි වී ගිය අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය.
එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පතට අනුව, සෑම ක්‍රීඩකයකුම මේ දඩයට යටත් වන අතර, දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ගේ මාසික වැටුපෙන් කපා ගැනීමට තීරණය කොට තිබේ. ‘
ඒ’ කාණ්ඩයේ ක්රීඩකයකුට අයිසීසී ආදායමෙන් කොටසක් ලෙස පාකිස්තාන රුපියල් මිලියන 2.7ක් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 4.5ක් සමඟ රුපියල් මිලියන 7.2ක මාසික වැටුපක් ලැබෙනු ඇත. මධ්‍යම කොන්ත්‍රාත්තු සහිත පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔවුන් ස්ථානගත කර ඇති කාණ්ඩය මත පදනම්ව වාර්ෂික වේතනය ලැබෙන අතර, එය ස්තර හතරකට බෙදා තිබේ.
එංගලන්තයට එරෙහිව පැවති සුපිරි 8 තරගයෙන් පාකිස්තානය පරාජයට පත් වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගත්තද, එය ඉදිරියට යෑමට ප්‍රමාණවත් නොවීය.
හිටපු නායක බාබර් අසාම්, වත්මන් නායක සල්මන් අලි අගා සහ ෂඩාබ් ඛාන්, ෂහීන් ෂා අෆ්රිඩි සහ මොහොමඩ් නවාස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දක්ෂතා නොදැක්වීම පිළිබඳ දැඩි විවේචන එල්ල වී ඇත.
ආගා පාකිස්තානයට පැමිණීමෙන් පසු නායකත්වයෙන් ඉවත් කරනු ඇතැයි සඳහන් වේ. හිටපු පාකිස්තාන පුහුණුකරු සක්ලේන් මුෂ්තාක්, වත්මන් ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් වෙත දොස් පවරමින් තම බෑනා වන ෂඩාබ් ඛාන්ගේ දක්ෂතා ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම ද විවේචනය කර ඇත.
Saru News
















