2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.Sri Lanka Latest News
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට දිවයින පුරා මධස්ථාන 13,759 කදී ආරම්භ වීමට නියමිතය.
ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.
මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය.
මේ අතර මැයි 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ මේ වනවිට සියලු දෙනාගේම අවධානය යොමුව තිබේ.
ඒ, මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සියලු දේශපාලන පක්ෂවල ඉදිරි පැවැත්ම තීරණය කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබීම නිසාය.
ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ මීට මාස 06කට පෙර පැවැති මහ මැතිවරණයේදී දැනට ජාතික තලයේ ක්‍රියාත්මක වන ප්‍රධාන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිඵලයම මෙවරත් ලබාගනු ඇද්දැයි කියාය.
2024 නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබාගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 61.56%කි. එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 1,968,716කි. එය 17.66%ක ප්‍රතිශතයකි.
එම මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාගේ ජාතික සංවිධායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබාගැනීමට සමත් වූ අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 3.14%කි.
කෙසේ වෙතත් සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 178,006ක් පමණි. එය ප්‍රතිශතයක් වශයෙන් 1.6%කි.
ඒ අනුව, මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෙම පක්ෂ පසුගිය මහ මැතිවරණයේදී ලබාගත් මෙම ඡන්ද ප්‍රතිඵලයම ලබාගනු ඇද්ද, එසේත් නැත්නම් ඡන්ද අඩුවන්නේ කාටද, ඡන්ද වැඩිවන්නේ කාටද යන්න සම්බන්ධයෙන් සියලු දෙනාගේ දැඩි අවධානය යොමුව ඇති බවක් දැකගන්නට තිබේ.
Saru FM Media