චමත්කාරය කියන්නට මැවුම්කාර වචන හිඟකමට බසක් දුන් ඉෂාරගේ ඡායාරූපය

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 19, කොළඹ LNW

ක්‍රීඩාව ආකර්ශණිය සහ අපූර්ව වන්නේම එහි ඇති අසාමාන්‍ය ශක්තීන්ගේ ප්‍රදර්ශනය මෙන්ම එහි ඇති විශ්මය දනවන ආකාරයේ මිනිස් චලනයන් පෙන්වන ක්‍රියානාරීත්වය නිසා ය.ඒවා එම මොහොතේම ආලෝකයේ සහ ශබ්දයේ වේගයන්ට සාපේක්ෂ කාලයක් ගනිමින් අපේ ඇස් කරා ළඟා කර ගන්නට හැකි තරමට ලෝකයේ කොයි මුල්ලක හිටියත් අවස්ථාව ඇත.ඒ චලන රූප හරහා ය.

එහෙත් මේ චලනයන්ට අදාළ උපරිම මොහොත තත්පරයෙන් ද විශාල පංගුවකි.ඒ ඇසිල්ල පියවි ඇසක රඳවාගන්න බැරි විශ්මයක් බව අපි විශ්වාස කරන්නෙමු.මතකයේ අතුරා ගන්න පුළුවන්ය.ඒත් ප්‍රකාශයක් හැටියට එම විශ්මය ඉදිරිපත් කරන්නට නොහැකිය.

මෙවර ලෝක කුසලානයේ දී පැතුම් නිශ්ශංක රැක ගත් උඩ පන්දුව විශ්මිතය.නැවත නැවත මනසේ කිසිඳු තත්පර දශම ගණනක් නොහැර ඇලී තිබෙන එකකි.එහෙත් යළිත් ගැටළුව උත්පාදනය වන්නේය.ඒක නොදැකපු කෙනෙකුට කිව යුතු දේ මවා පෙන්නන්නට වචනවලට නැති චිත්‍රමය හැකියාව නිසා අසරණ වන්නෙකුට,එහි උපරිම ඇසිල්ල කැමරා කාචයෙන් දැකපු වික්‍රමයක් ඉතුරු කර ඇත.

ඒ කැමරා පරම්පරාවක මේ මොහොතය.බන්දු එස් කොඩිකාරයන් වැඩි ශබ්ද නැති ඇඟීල්ලත් ඇහැත් එක්ක මහා විකුම් පළ කළ නැණවතෙකි.ඔහුගේ ලෙයින් ඉපැද්දුවේ කැමරාම ද කියා සිතෙන තරමට ඡායාරූප කේෂ්ත්‍රයේ හපන්කම් පාන පුතුන් අතරින් ඉෂාර කොඩිකාරත්, මේ වන විටත් මේ කොදෙව්වට සිමා නොවූ ලෝකයට අයිති කැමරා කාචයක සන්නාමයකි.ඔහු මේ සටහනට වටින්නේ පැතුම් නිශ්ශංක ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වල් දවා ගන්නට රැක ගත් අති විශිෂ්ඨ, විශ්මය දනවන උඩ පන්දුවේ උච්චතම මොහොත කැමරා කාචයේ රඳවා ගත් බැවින්ය.ඒ නිසා ඒ පන්දු රැකිමේ විශ්මිත බවත්,චමත්කාරයත් කියා ගන්නට වචන මෙවලම් නැති ලෝකයේ හැමෝටම ඉෂාරගේ ඡායාරූපය භාෂාමය මෙවලමක් වී ඇත.

ඕනිම භාෂාවකින් ඒ විශ්මය විග්‍රහ කරන්නෙකුට මැවුම්කාර වචන මදි වෙලාවක අන්තර්ජාලයට පිවිස ඉෂාරගේ ඡායාරූපය පෙන්වීම ප්‍රමාණවත්ය.ඉෂාර ක්‍රීඩාවෙන් ලෝකයට ලංකාව ගෙනියන්න ක්‍රීඩා ඉරියව්ම නොවන වෙනත් පෙදෙස් ද ඇති බව පෙන්වා දී ඇත.ක්‍රීඩාව දියුණු වන්නට සංස්කෘතියක් අවශ්‍යය වන්නේය.ඒ සංස්කෘතිය පෝෂණය කරන්නට මෙවන් ඡායාරූප කලාවකට ඇති අවස්ථාව තේරුම් ගන්නට මේ ඡායාරූපය ප්‍රමාණවත් සාක්ෂියක්ය.

පුළුවන්නම් ඉෂාරට තනියෙන් නොහැකිනම් ක්‍රීඩා පිටිවල විවිධ ක්‍රීඩාවන් සමඟ බැදුණු කිහිප දෙනෙකු සමඟ එක්ව කැමරාවට තැබූ ඇසින් දුටු විශ්මිත චමත්කාරය ප්‍රදර්ශණ බිමකට රැඟෙන ආ හැකිනම් අලුත් පරම්පරාව ක්‍රීඩා ඡායාරූප කලාව ගැන මීට වඩා ගරුත්වයෙන් සහ උවමනාවෙන් බලන්නටත්,හදාරන්නටත් පොළඹවා ගත හැකිය.

The post චමත්කාරය කියන්නට මැවුම්කාර වචන හිඟකමට බසක් දුන් ඉෂාරගේ ඡායාරූපය appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here