ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව ‘ගංගා වැලි’ (River Sand) යන යෙදුම වෙනුවට ‘සියුම් සමාහාරක’ (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශවල ගංගා වැලි කැණීම සීමා කිරීම සහ වැලි ප්‍රවාහනයට පනවා ඇති නියාමන හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් කර්මාන්තය ගංගා වැලි හිඟයකට මුහුණ දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගංගා වැලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ ව්‍යාපෘති කෙරෙහි සැලකිය යුතු මූල්‍ය පීඩනයක් එල්ල වී ඇත.
මෙම තත්ත්වයට විකල්පයක් ලෙස නිෂ්පාදිත වැලි (M-වැලි), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines), අක්වෙරළ වැලි සහ අනෙකුත් සුදුසු කණිකාමය ද්‍රව්‍ය භාවිතයට පහසු කිරීම අරමුණු කරමින්, මිලිමීටර 4 ප්‍රමාණයේ හලනයකින් හැලිය හැකි සියලුම එවැනි ද්‍රව්‍ය ‘සියුම් සමාහාරක’ ලෙස අර්ථ දක්වා ඇත.
ඒ අනුව, ඉදිකිරීම් සම්බන්ධ සියලුම පිරිවිතර සහ මාර්ගෝපදේශයන්හි ‘ගංගා වැලි’ යන යෙදුම වෙනුවට ‘සියුම් සමාහාරක’ යන යෙදුම යොදා ගැනීමට නියෝග ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.
මෙම නියෝග 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙම තීරණය මඟින් ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය විකල්ප මඟින් සපයා ගැනීමට හැකිවීමත්, පාරිසරික හා ආර්ථික බලපෑම් අවම කර ගැනීමටත් උපකාරී වනු ඇත.
Saru News










