කෝලි. ෂර්මා අහිමි වන ඉන්දියාව සහ ලංකාවට මැතිව්ස් අහිමි වීම

0
6


නිශ්මං රණසිංහ මැයි 15, කොළඹ LNW:

ඉන්දීය ක්‍රිකට් දේශපාලනය විසින් රෝහිත් ෂර්මාගේ සහ විරාට් කෝලි ගේ ක්‍රිකට් හී ටෙස්ට් ගමන අවසන් කර ඇද්ද යන්න පිළිබදව සැක පළ කෙරෙන පුවත් තැන තැන පළවේ.මේ සියල්ල පුරාම දකින්නට ඇත්තේ විශේෂයෙන් තවත් කාලයක් කෝලි ක්‍රීඩා කළ යුතු බවය.ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම් ද ගලා එමින් ඇත.මේ අතර කෝලි සහ ෂර්මා හා සමාන කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟ බැදුණු ඇන්ජලෝ මැතිව්ස් ද එළැඹෙන බංගලාදේශ ටෙස්ට් තරගාවලියෙනු පසුව සිය ටෙස්ට් ක්‍රිකට් ජිවිතය හමාර කරන බව දැන ගන්නට ඇත.

මේවා ඉක්මන් වැඩි තීරණ ලෙස යමෙකු දකින්නේය.එහෙත් ක්‍රීඩකයෙක් තමන් උපයා ගත් ගෞරවය සමඟ බැස යා යුතු බව ඔවුන් දන්නේය.තව දුරටත් තමන්ගේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව පෙර පරිදිම ද නැද්ද යන්න දන්නේ පෞද්ගලිකව ඔහු හෝ ඇයය.ශකත වාර්තා කළ ද,ඒවා වාර්තා වෙද්දී තමන්ගේ සිරුරෙන් ලැබෙන සංඥාවන් කවරේද යන්න හරියටම දන්නේ ක්‍රීඩකයාය.

කෝලි සහ ෂර්මා කියවා ගන්නා ඒ පණිවිඩ වෙන කිසිවෙකුට කියවා ගන්නට නොහැකිය.එසේ නොවී දේශපාලනිකව අලුත් පෙළ ගැස්මක් ඇති කර ඒ හරහා ද පීඩනයක් ඇති කරන්නට ඉන්දීය ක්‍රිකට් බලධාරීත්වයට බැරි නැත.ලකුණු නැති ඉණිම කිහිපයක් ජ්‍යෙෂ්ඨයෙකුගෙන් වාර්තා වෙද්දී ලකුණු වැහි වහින කිහිප දෙනෙකු බංකුවල ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන්ට පෙනෙන්නට අසුන් ගන්වා ඇත.එම පසුබැසීම එක දිගට සිඳුවන්නේනම් ඉන්දියාව වැනි ක්‍රිකට් සංස්කෘතියකදී,පිටත සිටින ලකුණු අතර සිටින නවකයින් වැඩි වාර ගණනක් රූපවාහිනි තිරයේ පෙනවමින් ඔවුන්ගේ දක්ෂතා ගැන සාකච්ඡා කරන වාර කිහිපයකදි කෝලි,ෂර්මා නොව තෙන්ඩුල්කාර් ද එපා කියන්නට තරමට ප්‍රේක්ෂනයෝ අප්‍රසාදය පෙන්වන්නට පටන් ගනිති.
ඒ පීඩනය එක වරක් මතු වුව ද ඇත.දෙවියන්ට සේ ගරු කරපු මිනිස්සු එක් වරක් ගෝ හෝම් කි විට දෙවොල පා මුල වැටී සුණු විසුණුව යන්නේය.ඇන්ජලෝ ඒත් මේ දෙවොල ගිණි තබද්දි ද නොදැවී සිටියේය.ඔහු ශ්‍රී ලංකාව බිහිකල විශිෂ්ඨතම ක්‍රිකට් නායකයෙක්ය.තමන්ට ඉතුරු වුණ ක්‍රීඩකයින් සමඟ ඇන්ජලෝ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ද සිය නායකත්වය යටතේ පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය හදාරන්නෙකුට අත හැර යන්නට නොහැකි තරමේ ශ්‍රේෂ්ඨයෙකු වූ ක්‍රීඩකයෙක්ය.

සාමාන්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට පැමිණි මැතිවිස් වැඩි දුර ඉගෙන ගත්තේ කණ්ඩායම ඇතුළෙන් බව ඉතිහාසය බලන අයෙකුට පැහැදිළි කර ගැනීම අපහසු නැත.පැමිණි මුල් අවදියේ දී වඩාත් පන්දු යැවීම කෙරෙහි යොමුව සිටි ඇන්ජලෝ මැතිවිස් කාලයත් සමඟ හෂාන් තිලකරත්න වැනි ක්‍රීඩකයෙකු බවට පත් විය.එක් අතකින් හෂාන් ලෙස කඩුල්ල රැකගෙන සිටීමේ ලක්ෂණ ප්‍රකට කරන අතරේම ඉතා විශිෂ්ඨ තරග නිමා කරන්නෙකු විදිහට ප්‍රහාරාත්මක වෙමින් ජයග්‍රහණය සැළසුම් කිරීමේදි අරවින්ද ද සිල්වා වැනි පිතිකරුවෙකු සතු ලක්ෂණ ද පෙන්නුම් කරන්නට විය.

ඇන්ජලෝ මැතිවිස් එහෙත් අපූරු අලංකාර පහරවල් පිරිච්චි පිතිකරුවෙකු නොවේය.එහෙත් අවශ්‍යයම මොහොතේදී පන්දුව ලෝන්ග් ඕෆ් හෝ ලෝන්ග් ඕන් කළාප ආසන්නයෙන් එළියෙන් තබන්නට ඔහු සතු හැකියාව ශ්‍රී ලංකාවේ පිතිකරුවන් හා සසඳද්දි සුලබ නැත.එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයා වර්ථමානය වන විට හසුරුවන්නේ ක්‍රීඩක කළමණාකරුවන්ගේ මැදිහත්වීම් හරහා කරන කොනිති ගැසීම්වලින් උපද්දන පෞද්ගලික රුචි අරුචිකම් මත නිසා ඇන්ජලෝ මැතිවිස් ලංකාවේ ක්‍රිකට්වලට කළ සේවය මනින්නට යොදා ගත්තේ හුංඩුවේ මිණුම් ය.ඒ නිසා ඔහු ඔහුගේ අවසාන කාලයේ අවාසනාවන්ත ප්‍රතිචාර වැඩි ප්‍රමාණයක් සමඟ දරාගෙන ක්‍රීඩා කරන්නට වූ ක්‍රීඩකයෙක් බවට පත් විය.

ක්‍රීඩකයන් ජිවිත කාලයම කණ්ඩායමක සිටින්නේ නැත.ඔවුන් එන්නේ කවදාද කියා තීරණය කිරීම ඔවුන් දන්නේ නැත.එහෙත් යන්නේ කවදාද කියා තීරණය කිරීමට ඔවුන්ට අයිතිය තිබිය යුතුය.වඩාත් වැදගත් යන්න කියනකම් නොසිට ඉන්න කියද්දී යාමය.කෝලි සහ ෂර්මා යන්නේ ඒ ආකාරයටය.එහෙත් ඇන්ජලෝ මැතිව්ස් කළ සේවය ඔවුන් තරමටම වුව ද,ඔහුට රටේ ක්‍රිකට් සංස්කෘතියේ බලපෑම විසින් යන්නට පෙර බලපෑම් ඇති කළේය.ඒ අතර සමහර අයෙකු ක්‍රීඩාවට කිසිසේත්ම අදාළ නොවන ආගම වැනි කාරණා ද ඇඳ ගන්නට කටයුතු කළේය.එවැනි මුග්ධ ප්‍රේක්ෂක සංස්කෘතියකට ඇන්ජලෝ විශාල වැඩිය.ඔහු කුමන ආකාරයේ හැසිරීම් පෙන්නුම් කළ ද,කණ්ඩායම ගැන මෙන්ම අන් ක්‍රීඩකයන්ට පිටිය මැද දී ලබා ගන්නට ලැබෙන දුර්ලභ වාර්තා සහ ජයග්‍රහණවලදී පසෙකට වී ඒවා කරා යන්නට අවශ්‍යය සහය සකසා දුන් අයෙක්ය.ඒ අර්ථයෙන් ගත් විට කෝලි සහ ෂර්මාට වඩා දේ ද කණ්ඩායම වෙනුවෙන් අනෙකාගේද සහය උපරිමයට ගෙන මෙහෙය වූ ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිවිස් නික්ම යන මොහොතේ දී හෝ ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කළ සේවයට නිසි ගෞරවය ලැබිය යුතුව ඇත.ඒ ගෞරවය මෙන්ම සමුගැනීමේ තරගය සිය උපරිමයෙන් රටට පලදායි ජයක් වෙනුවෙන් දායක වන්නට ලැබෙන තරගයක්ද වේවා යන්න අප ඇන්ජලෝ වෙනුවෙන් පතන පැතුමය.

කෝලි සහ ෂර්මා මෙන්ම ඇන්ජලෝ ද විශිෂ්ඨයන්ය.ඒ හිස් තැන් පුරවන්නට අමාරු නැවත නැවත මතක් කළ හැකි දස්කම්වලින් පිරුණු පරමාදර්ශී ක්‍රීඩා රටාවන්ගෙන් පෝෂණය ලබා තිබුණු ඒවාය.
තිදෙනාටම සුබ අනාගතයක් වේවා!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here