2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම ආරම්භ කර තිබේ.
සංශෝධිත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන) 02 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර දිසානායක විසින් 2025 දෙසැම්බර් 30 වෙනි දින අංක 2469/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලද මෙම පරික්ෂණ කොමිෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච් ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස් වික්‍රමසිංහ කටයුතු කරති.
දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධරයන් වශයෙන් සේවයේ නිරතව සිටි හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සහ සැපයීම් සිදු කරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පුද්ගලික ආයතන හෝ පුද්ගලයන්ට එරෙහිව බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ලබාගැනීමත්, මෙකී කාර්ය සිදු කරගෙන යාමේදී ඉහත කාල සීමාවෙන් ආවරණය නොවන හෝ ඉහත සඳහන් ක්‍රියාවලට පරිබාහිරව එහෙත් පරීක්ෂණ කොමිෂන් සභාවට බරපතල ස්වභාවයේ බවට හැඟී යන වරදක් හෝ වැරදි සම්බන්ධයෙන් මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ලබා ගැනීමත්, එම පැමිණිලි, තොරතුරු සහ චෝදනා පිළිබඳව කඩිනම් අපක්ෂපාතී පුළුල් විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීමත්, වරදවල් හා වැරදි ක්‍රියාවන් සිදු කර තිබීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන් සහ ආයතනවලට එරෙහිව ගත යුතු යම් ක්‍රියාමාර්ග වෙතොත් ඒ පිළිබඳ කොමිසමේ නිර්දේශ සහ එබඳු වරදවල් සහ වැරදි ක්‍රියාවන් ඉදිරියේදී සිදුවීම වළක්වාලීමේ අරමුණින් කරනු ලබන නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැවරේ.
කොමිෂන් සභාව විසින් සිය ප්‍රථම අතුරු වාර්තාව මාස තුනක් ඇතුළත ද, නිගමන සහ නිර්දේශය ඇතුළත් අවසාන වාර්තාව මාස හයක් ඇතුළතද ජනාධිපති ලේකම් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත “අංක 152, ගාලු පාර, කොළඹ 03” ලිපිනයට යොමු කරන ලෙස පුද්ගලයන්ට, සංවිධානවලට සහ ආයතනවලට ආරාධනා කෙරේ.
සියලු පැමිණිලි 2026 පෙබරවාරි මස 23 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය. එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම, ලිපිනය, සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුය. තවද ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ඉල්ලා සිටිය හැකිය.
කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතන හෝ පුද්ගලයන්, 0112301735 යන දුරකථන අංකය ඇමතීමෙන් 2026 පෙබරවාරි මස 23 වන දින හෝ ඊට ප්‍රථම දිනයක් නියම කරවා ගැනීමට අවස්ථාව සලසා තිබේ.
0
Saru News










