කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩයේ 07කට තහනමක්… – Saru News | සිංහල

0
8

සීමාසහිත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ පාරිභෝගික අංශය සඳහා පරිගණක මෘදුකාංග සහ දෘඩාංග මිලදී ගැනීමේදී සිදු වූ රුපියල් දෙකෝටි පනස් තුන් ලක්ෂ අසූ දහසක (රු. 25,380,000) මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම සමිතියේ හිටපු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 07 දෙනෙකුට වසර 07 කාලයක් යනතුරු කිසිදු සමුපකාර සමිතියක තනතුරු දැරීම තහනම් කිරීමට දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය පියවර ගෙන ඇත.

හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය මෙවර පැවති කොටපොල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණයේදී සහය දැක්වූයේද වසර 07ක සමූපකාර තහනමට ලක්වූ හිටපු කොටපොල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන ඇතුලු මෙම කණ්ඩායමටය.

දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් චන්ද්‍රිකා වික්‍රමසිංහ විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ 2026 පෙබරවාරි 06 වන දින ගාල්ලේදීය. මෙම දඬුවමට යටත් වී ඇත්තේ හිටපු සභාපති ප්‍රියන්ත මනෝජ් ජයවර්ධන සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන කේ. සෝමසිරි, මෙත්සිරි කුමාර අබේවික්‍රම, නිසංක දිල්ශාන් මදරසිංහ, ජී. චමිලි ප්‍රියංකර පෙරේරා, එම්.පී.ජී සුපුන් තාරක සහ කේ. ලලිත් දේශප්‍රිය යන පිරිසය.

මොවුන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ සමිතියේ අනුමත අතුරු ව්‍යවස්ථාවන් සහ නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින් අක්‍රමවත් ලෙස මෘදුකාංග පද්ධති මිලදී ගැනීමයි. පාරිභෝගික අංශයේ වෙළඳ ඒකක සඳහා නිසි පිරිවිතර වාර්තාවක් හෝ අවශ්‍යතාවක් ඉදිරිපත් නොකර, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ආයතන තුනකින් පමණක් මිල ගණන් කැඳවා මෙම ගනුදෙනුව සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

වඩාත් බරපතල කරුණ වන්නේ, භාණ්ඩ මිලදී ගැනීමෙන් පසුව (2024.11.08) ලබාගත් තාක්ෂණික වාර්තාවක්, 2023 වසරේදී ලබාගත් එකක් ලෙස පෙන්වමින් ව්‍යාජ ලේඛන සකස් කර තිබීමයි. එසේම, සමුපකාර රෙජිස්ට්‍රාර්ගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව රුපියල් අසූ හතර ලක්ෂ හැට දහසක (රු. 8,460,000) මුදලක් LGO Technologies (Pvt) Ltd ආයතනය වෙත ගෙවා ඇති බවද කොමසාරිස් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

දකුණු පළාත් සභාවේ 2019 අංක 06 දරන සමුපකාර සමිති ප්‍රඥප්තියේ 43(1) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව, අදාළ නිලධාරීන් සියලු දෙනා වරදකරුවන් බවට තීරණය කර ඇත.

මේ අනුව, නියෝගය නිකුත් කළ දින සිට ඉදිරි වසර හතක කාලය තුළ මොවුන්ට කිසිදු සමුපකාර සමිතියක තනතුරු දැරීමට නොහැකි අතර, දැනට දරන සියලු තනතුරුද වහාම අහෝසි වේ.

මේ පිළිබඳව සමිතියේ මහා සභාව දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here