කොච්චර කිව්වත් කියන දේ කනකට ගන්න නැති පොඩ්ඩෙක් ඔයාටත් ඉන්නවද?

0
18


පුතා දැන් මම කීපාරක් නං ඔයාට කිව්වද පොත් මේසේ අස් කරගන්න කියලා..

ඔයාගේ කන් දෙක ඇහෙන්නෙ නැද්ද ළමයෝ…

දවස තිස්සේම කෑගහලා දැන් නම් මට එපා වෙලා..

මේ ළමයා කියන කිසිම දෙයක් අහන්නේ නෑනේ

සමහර දවස් තියෙනවා, දරුවොත් එක්ක ගත කරන, අම්මලාටත් දරුවන්ටත් එපා වුණු. මුළු දවස තිස්සේම නොනවත්වා කෑ ගහලා අම්මාගේ කටහඬත් වෙනස් වුණු. දරුවන්ගේ මුහුණු හරිම උදාසීන වුණු. දවස අවසානයේ අම්මත් දරුවනුත් හෙම්බත් වෙලා. මූණ වගේම හිතත් උදාසීන වුණු මේ පුංචි දරුවෝ කෑවයින් නොකෑවයින් ඇඳට වැටෙනවා. නින්ද ගියාට පස්සේ අම්මාටත් ඒක දරාගන්න අමාරුයි. ඒත් දවසක් ගෙවෙද්දී දරුවන්ගේ හැසිරිම අම්මාව කේන්තියට පත් කරනවා. 

වරක් දෙවරක් හොඳින් කිව්වත් ගානකට නොගන්න නිසාම ආයෙ ආයේ නම් කියන්ගේ බොහොම සැරෙන්. වෙලාවට පොඩි පාරක් දෙකක් වැදෙන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම ඇයි මේ දරුවෝ අපිව තේරුම් නොගන්නේ. අපි මේ වෙහෙස වෙන්නේ එයාල වෙනුවෙන් නේද කියන එක දරුවන් වටහා ගන්නේ නැහැ. අපිට මෙහෙමත් හිතෙනවා නේද?

කාර්ය බහුල හැම අම්මා කෙනෙක්ම හිතනනේ එහෙම වුණත් දරුවන්ට කෑගහන්න සිද්ද වෙන හේතු කිහිපයක්ම තියෙනවා. හේතු තිබුණත් හැම නිතරම දරුවන්ට කෑ කෝ ගහන එක අම්මාට වෙහෙසක් මහන්සියක් වගේම දරුවාටත් ලොකු පීඩාවක්. මේ කෑ කෝ ගැහීම නිසා නිවස තුළ අප්‍රසන්න අමිහිරි පරිසරයක් ගොඩ නැගෙනවා විතරක් නෙවෙයි ඒ තත්ත්වය දරුවෙකුගේ ආත්ම විශ්වාසය දුර්වල කරන, පෞරුෂ වර්ධනය අඩාල කරවන තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් මත නිවස සාමකාමී පරිසරයක් තුළ පවත්වා ගැනීම බොහෝ සෙයින් අසීරුයි. 

දරුවන්ට කෑ ගසන්නට සිදුවන හේතු 

දරුවන්ගේ ගැටලු

ඇයි මේ දරුවන්ට එකම දේ නැවත නැවත කියමින් කෑ ‍කෝ ගහන්න සිදු වෙන්නේ.

දරුවන්ගෙන් 7%කට පමණ කොටසකට එකම දෙයකට අවධානය යොමු කිරීම එහෙමත් නැත්නම් හිත එකම දෙයක් මත තබා ගැනීම අපහසුයි. දිගු කාලීනව අවශ්‍ය වන වැඩක් උපදෙසක් අහන කොට ඒ පිළිබඳ අවධානය ඉතා ඉක්මනින් අඩු වෙන නිසා දිගින් දිගටම සවන් දීම ඔවුන්ට අපහසුයි. මෙවැනි අවස්ථාවක මේ ළමයා ඇහුනත් කරන්නේ නෑ කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් ඇහුණු පලියටම කෙටිකාලීනව මතකයට ඇතුළත් වීම හෝ දිගු කාලීනව සාවදානව මතකයට ඇතුළත් කරගැනීමටත් හැකියාවක් නැහැ.

ඕටිසම් හෝ වෙනත් පෞරුෂත්ව ඌනතා ඇති දරුවන්ට තවත් අයෙකුගේ හැඟීම් වටහා ගැනීමට අපහසුයි. ඒ නිසාම එකම උපදෙස නැවත නැවත ලබාදීමට සිදු වෙනවා. ඇතැම් විට සමාජීය යෙදුම්ථ භාෂාවේ විවිධ විලාස තේරුම් ගැනීමට නොහැකි වීම නිසා මෙවැනි තත්ත්ව උද්ගත විය හැකියි. ඒ වගේම ඇතැම් දරුවන්කියන දේට විරුද්ධ දේම සිදු කිරීම වැනි අවස්ථා ගැන අත්දැකීම් ඔබටත් තිබිය හැකියි. එවැනි අවස්ථා ඇත්නම් සුදුසුකම් සහිත මනෝ විශේෂඥවරයෙකුගේ උපදෙස් පැතීම වඩාත් සුදුසුයි.

දෙමාපිය/ගුරුවරුන්ගේ වැඩ කරන විලාසයේ ඇති ගැටලු 

මේ පිළිබඳව කතා කිරීමේදී දෙමාපියන් වර්ග කිහිපයක් ගැන කතා කළ හැකියි.

දරුවන්ට තමන්ගේ හිතුමතේ හැසිරෙන්නට ඉඩ ප්‍රස්ථාව උපරිමයෙන් ලබා දීම නිසා ඒ දරුවන්ට කාලයට එහෙමත් නැත්නම් අවස්ථානුකූලව කටයුත් කිරීමට අපහසු විය හැකියි. යමක් සැලසුම් සහගතව සිදු කිරීමට යාමේදී වුවත් නැවත නැවත එකම දේ වෙනුවෙන් උපදෙස් ලබාදීම අවශ්‍ය වෙනවා. 

දරුවන්ට විධි විදාන ලබා දෙන මෙවැනි දෙමාපියන් බොහෝ විට දරුවන්ගේ හැඟීම් හඳුනා නොගනී

එවිට මව්පියන් පිළිබඳව අමිහිරි හැඟීමකක් දරුවන් තුළ ඇති වේ.

දරුවන් දෙමාපියන්/ගුරුවරු වැඩකරන පරිසර

‍ඔබ සිටින පරිසරය ඝෝෂාකාරී/අපිළිවෙළ තැනක් නම් එය සැමවිටම අමිහිර අත්දැකීම් ගෙන එන්නක් විය හැකියි. දරුවන් ඉගෙන ගන්නේ නිරීක්ෂණය තුළිනි. මෙවැනි පරිසරයකදීත් එකම දේ නැවත නැවත කියමින් කෑගසන්නට සිදු විය හැකිය. වෙලා තැනක් නම් කෑ ගහන්න වෙනවා. අපිළිවෙළ, නීතිරීති වැඩි ඝෝෂාකරී වටපිටාවකදී නිසි කලට යමක් කිරීමට නොහැකි වීම මත දරුවන්ට කෑ ගසන්නට ඔට සිදු විය හැකියි.

වැඩිහිටි ඔබේ කෑගැසීම නිසා දරුවන්ට ඇති වන මානසික පීඩනය ඉතා නුසුදුසු වන අතරම මෙවැනි වටපිටාවකට නිරාවරණය වන දරුවෙකුගේ පෞරුෂ වර්ධනයටත් එය බාධා වනු ඇත. මනෝ වෛද්‍ය විශ්ලේෂණවලට අනුව සනාථ වී ඇති කරුණ වන්නේ දරුවන් සමග සමීපව කටයුතු කිරීම ඔවුන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට හේතු වන බවයි. එසේ නම් වැඩිහිටි අප වටහා ගත යුතු වන්නේ අපේ පුංචි දරුවන්ට දවස මුළුල්ලේ කෑ කෝ ගැසීම ඔවුන්ගේ ජීවිතයේ බොහෝ සංවර්ධනයන් අඩාල වන බවයි.

 

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here