කුෂ් සහ හෂීෂ් සමග තිදෙනෙක් කටුනායකදී අල්ලයි

0
11

කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද (25) අලුයමදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් (පැකැට් 10) සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක ප්‍රමාණයක් (පැකැට් 18ක්) සොයා ගෙන ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවද සඳහන් වේ.

මොවුන් අද (25) අලුයම 04.00ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

අත්අඩංගුවට ගත් අය අතරින් දෙදෙනෙක් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් සහ පෙදරේරුවෙකු බව සඳහන් වේ.

අනෙක් පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව වාර්තා වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගුවන් මගීන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here