මෝදර හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණය ඇතුළු මහල් නිවාස සංකීර්ණ 24ක ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය කියා සිටී.
හඳුනා ගත් එවැනි ස්ථාන ජනතාවට වාසයට සුදුසු හා ආරක්ෂිත මට්ටමට සකස් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඊයේ (04) මෝදර හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණයේ හත් වැනි මහලේ සිමෙන්ති කපරාරුවේ කොටසක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු තුවාල ලැබීය.
සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ (04) උදෑසන 8.30 ට පමණ මෝදර පිහිටි හෙළමුතු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 7 වෙනි මහලේ නිවාස දෙකක් අතර පිටත බිත්තියේ කපරාරුවේ කොටසක් එලෙස කඩා වැටිණි.
පොලිසිය ප්‍රකාශ කළේ, තුවාල ලැබූ 7 හැවිරිදි දරුවා එම අවස්ථාවේ සිය මිත්තණිය සමග නිවාස සංකීර්ණය පාමුල වෙළෙඳ සැලක් අසල සිට ඇති බවයි.
කඩා වැටුණු කපරාරුවේ කොටසක් දරුවාගේ හිසට වැටී ඇතැයි සඳහන්.
හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණය 2019 වසරේ ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කරණ ලද එකකි.
Saru News








