කාගෙත් හිත් ජයගත් ජයලත්!

0
5

නිශ්මං රණසිංහ ,මාර්තු 15, කොළඹ LNW:

ඔහු වැඩෙහි යෙදුණේ ක්‍රිඩා අමාත්‍යංශයේ කුස්සියේය.ජාතික මලල ක්‍රීඩා සංචිතයට පමණක් නොව ටොරිංටනයේ නවාතැන් ගත් කුමන ජාතික සංචිතයක් වුණත් ගුණ ගැන්වුණේ රස ගැන්වුණේ ඔහුගේ අතින් පිසෙන රසවත් කෑමකින්ය.
කවුරු හෝ හමුවන්න ජාතික සංචිතයට ගොඩ වෙන අපට ද ජයලත් අතින් තේ එකක් ලැබිණ.ඊට සිනහ පිරි මුවින් එකතු කරන රස වදන්වල පිරී තිබුණේ අව්‍යාජ හිතවත්කමය.ආදරයය.මනුස්සකමය.

ඒවා කොච්චර තදින් හිත්වලට බැදිලා තිබුණ ද කියන එක ඔප්පු කරන මොහොතක් මාර්තු 14 දා කොළඹ ටොරිංටනයේදි යෙදී තිබිණ.එයට සහභාගි වූ ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ පුහුණුකරුවෙකු ද වන සුනිල් ගුණවර්ධන කීවේ,ජයලත් තරම් කාගෙත් හිත් ජයගත් මිනිසෙකු නැති බවය.එසේම ක්‍රීඩාවට ආදරය කරන්න ක්‍රීඩා කරන්නම අවශ්‍යය නැති බව ද ඔහු කීවේය.ඊට හොඳම උදාහරණය ජයලත් සෑම ක්‍රීඩාවකටම දක්වන අසීමිත ආදරය බව ද සුනිලුන් පෙන්වා දුන්නේය.

ඒ අසීමීත ආදරය මේ සටහන කියවන සුවිශාල වෙබ් පාඨක සමාජයට ද දැනෙනවා සැක නැත.ඒ මලල ක්‍රීඩා උළෙලක වුව නැතිනම් වෙනත් ජාතික කණ්ඩායමක ජයකදී වුව ඔවුන් අසළින්ම ජාතික කොඩිය ගෙන රැඳෙන්නේ ජයලත් වන බැවිනි.ඒ නිසා මේ අපූරු මනුස්සයා ඒ කොඩිය උස්සගෙන එන කණ්ඩායමේ සිටින බොහෝ දෙනෙක් ඔහුගේ රසෙන් ගුණෙන් වගේම ආදරයෙන් අඩු නැති කෑම වේල්වලින් සප්පායම් වූවෝය.

ඔලිම්පික් සූරි සුසන්තිකා ජයසිංහ එකිනෙකාගේ වෙනස් රසයන් පවා හැඳිණ,ඒ අනුව වේල සකස් කර දෙන්නට ජයලත් සතුව තිබුණ හැකියාව කීවේය.ඉතාම සිනහමුසුව සහ ආදරණීයව වගකීමත් තිතටම කරන ජයලත්, ලංකාවේ ක්‍රීඩාව පරිපාලනය කරන නිලධාරීන්ට පාඩමක් හැටියට ගත හැකි බව සුසන්තිකා කීවේද හදවතින්ය.එසේ නොවන මිනිසුන්ගේ හැසිරීම්වලින් ඇය කෑ බැටම ඊට හේතු වන්නට ඇත.

ශ්‍රියානි කුලවංශ මේ ආදරයට විශ්වාසය සහ අවංකත්වය මුසු කරන්නට සමත් වූවාය.අපේ පර්ස් තිබුණෙ ජයලත් ළඟ.කවදාවත් සතයක් අඩු වෙලා නැහැ.ඒ වගෙම ප්‍රසන්න අමරසේකර සිහිපත් කළේ ඔහු ඉතාම දුශ්කර තත්ත්වයකට මුහුණ දුන් මොහොතේත්,එතැනට කෑමත් රැගෙන ජයලත් ආ හැටිය.ඒ ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩකයාට ඔහුගේ ඇති ලෙංගතුකමය.

කවදාවත් බඩගින්නෙ නොතිබූ ජයලත්,දුර බැහැරින් ක්‍රීඩාව කරන්න ආපු සුගත් තිලකරත්නලාට ගෙදර අඩුව නොදැනෙන්නට ආදරය දුන්න හැටි,ජයග්‍රහණයට පාර පෙන්නපු හැටි,කිසිවෙකුත් නැති වුවහොත් වැඩ නිමවා ගෙදර යන එක නවතා,පොල්තෙල් ගෙන හෝ සම්භාහනය කරන හැටි සිහිපත් කළේ සුගත්මය.ඔහු රටේ ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයා ලෙස තව දුරටත් පෙණුමෙන්වත් සවියෙන්වත් හැට පැන නැති ජයලත්,ක්‍රීඩාව හා බැදුණ පෞද්ගලික අංශයක හෝ ඉඩක් දී ක්‍රීඩාවේ රඳවාගන්න හැටි කල්පනා කරනවා ඇතැයි අපට සිතන්නට අයිතියක් ඇත.

මේ වැඩේට ගොඩක් අය එකතු වුණත් මුල්තැන උන්නේ ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලක රන් සළකුණ තැබූ මේනකා වික්‍රමසිංහය.ඇය සිය සැමියා මියගිය මොහොතේ ඒ අවමංගල වැඩ නිමවෙන තෙක්ම ජයලත් දැරූ වෙහෙස මහන්සිය කැපවීම සිහිපත් කළේ ඇස් කඳුළින් බොඳ වෙමින්ය.ජයලත් එබදුය.ක්‍රීඩකයෙකුගේ සතුටුම මොහොතවල්වල වගේම දුකම මොහොතවල්වලද එය බෙදා ගැනීම පහසු කරන්නට මහා බර ගොඩක් ඔහුගේ උර මත තබාගෙන හමු වූ තැන් බොහෝමය.ඒත් ක්‍රීඩකයාට ක්‍රීඩාවට තම සහෝදර සේවක මඩුල්ලේ සිටින කුමන තරාතිරමක කෙනෙකුට හෝ ජයලත් ආදරය ප්‍රකාශ කළ ප්‍රායෝගික භාෂාවේ හැටිය.ඒවා වචන නොවුණ ක්‍රියාපදවලින් පොහොසත්ව තිබුණ සහ දැණුන ඒවා විය.

හිටපු බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කීවේ රජයේ සේවකයාට සාපේක්ෂව ලැබෙන්නේ සුළු පඩියක් බවය.එහෙත් එයින් මේතරම් ආදරයක් උපයන්න හැකි සේවයක් දුන් ජයලත් ආදර්ශයක් බවය.

විවිධ ආකාරයෙන් ක්‍රීඩාවට ලැබැදි මිනිස්සු එහි වූහ.ඒ හැම දෙනෙක්ම ජයලත්ට පෙරලා ආදරයම පෑහ.පරම්පරා තුනක නියෝජනයක් එහි පැහැදිළිවම විය.ජයලත් එහි ආවේ පරම්පරා දෙකක්ද කැටුවය.සිය බිරිඳ දියණිය මෙන්ම දියණියගේ සැමියා සහ ආදරණිය දියණිවරු දෙදෙනාද එහි වූහ.ඔහු තමන්ගේ ආදරය මිනිසුන්ට බෙදාකාරයෙන්ම සිය පවුලද ආදරයෙන් රැක බලාගෙන ඇති බව ඒ සහභාගීත්වයෙන් කීවේය.ආදරණිය හිතවතෙක් ලෙස ක්‍රීඩා කේෂ්ත්‍රෙය් දවසක් හෝ ජයලත්ව මුණ ගැසී ඇති කෙනෙකු ඔහුව හඳුන්වන්නට පැකිළෙන්නේ නැත.එසේම ඉතාම පැහැදිළිව ඒ ඔහුගේ ආදරය ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ නොවන එකක් බව ජයලත්ගේ බිරිඳ,දියණිය,බෑණා මෙන්ම මිනිපිරියන්ද යළි යළිත් පසක් කළහ.

මට මතක් වන්නේ අපේ දුර දුවපු කරුණානන්දය.ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරගය නිමා කළ අන්තිමයාය.එහෙත් ඒ දරගැනීම,ආත්ම ධෛර්‍යය මෙන්ම ක්‍රීඩාශිලීත්වය ජපානයේ පෙළපොතට ඇතුළත් විය.ජයලත් ද එවැනි නොපෙනෙන ජයග්‍රාහකයෙකි.රාජ්‍ය සේවකයාට නොව ලංකාවේ ජනතාව සමඟ වැඩ කරන සියළුම මහජන සේවකයින් ජයලත්ගෙන් තමන්ගේ සේවාදායකයා තෘප්තිමත් කරන ආදරණීය රහස් උගත යුතුය.

ඇත්තටම තමන්ගෙන් සේවය ලබන්නා තාප්තිමත් කරන්නේ කෙසේද සහ තමන් එයින් තෘප්තිමත් වන්නේ කෙසේද යන කරුණු දෙකම ඉගෙන ගන්න ජයලත් පොතක් නොව,දීර්ඝ වශයෙන් විහිදුණු පැතිරුණු විෂය නිර්දේශයකි.

ජයලත් ඔබට සුබ පැතුම්,ඔහුට මේ රටේ පරිපාලන සේවකයෙකුටවත් ලබා ගත නොහැකි තරමේ වටිනකාමක් ආදරයක් සේ අත තබන්නට හවුල් වූ දෙස් විදෙස් සැමටත් ජයලත්ගේ ආදරයට දැක් වූ ප්‍රතිආදරය වෙනුවෙන් උපහාර විය යුතුය.

The post කාගෙත් හිත් ජයගත් ජයලත්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here