කන ගැන නොසිතා අමතකම කරාද?

0
14


කන කියන්නෙ මිනිස් සිරුරේ තියෙන ශ්‍රවණය සහ සමබරතාවය පවත්වා ගන්න උපකාරී වෙන ඉන්ද්‍රය කියල ඔබ දන්නවනේ. 

අපේ කන් වලින් ප්‍රධාන වශයෙන්ම, වාතයේ ශබ්ද තරංග විද්‍යුත් ආවේග බවට පත්කරල ශබ්දයට අදාල මොළයේ කොටස වෙත යැවීම තමයි සිදුකරන්නෙ. 

හැබැයි, අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම ගැන සැළකිලිමත් වෙද්දි අපි බොහෝ දෙනෙක්ට කනේ රෝග වගේම කනේ නීරෝගී බව ගැන හිතන්න අමතක වෙනව. 

අන්න ඒ නිසයි, කනේ රෝග ගැන ඔබත් එක්ක කතා කරන්නත් ඔබට ඒ ගැන ලැබිය යුතු දළ අවබෝධය හෝ ලබා දෙන්නත් මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ. 

කනේ රෝග යනු මොනවද? 

කනේ රෝග බොහෝ දෙනෙක් අතර ඉතාම සුලභව දකින්න ලැබෙන තත්වයක්. විශේෂයෙන්ම කුඩා දරුවන් අතර කනේ රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉතාම වැඩි බවයි වාර්තා වෙන්නෙ. 

දරුවෝ පාසල් යන වයසට එන්න කලින් එක වතාවක් හෝ කනේ ආසාදන තත්වයක් ඇතිවෙන බව හඳුනාගන්න පුළුවන් වගේම ටිකෙන් ටික වැඩිවියට පැමිණෙද්දි ආසාදන තත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වෙන බවත් හඳුනාගන්න පුළුවන්. 

ආසාදනය වී ඇති කොටස අනුව කනේ ආසාදන වර්ග කීපයකට බෙදා දක්වන්න පුළුවන් වුනත් ඉතාම සුලභ සහ පොදු ආකාර 02 ක් ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙනව. 

ඒවා, 

මැද කනේ ආසාදන (otitis media) සහ

පිටත කනේ ආසාදන (otitis externa) විදිහට හඳුනාගන්න පුළුවන්. 

කන් ආසාදන බැක්ටීරියා සහ වෛරස් මඟින් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයකුත් තිබෙනවා. 

මැද කනේ ආසාදන

මැද කන කියල හඳුන්වන්නෙ කන් බෙරයට පිටුපසින් ඇති කනේ කොටසයි. 

එය eustachian යන නමින් හැඳින්වෙන කෙටි නාලයකින් උගුරත් සමඟ සම්බන්ධ වෙලා තියෙනවා. 

ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ ආසාදන මේ නාලය හරහා මැද කන දක්වාම පැමිණීමට ඇති ඉඩකඩ වැඩිබවත් හඳුනාගන්න පුළුවන්. 

කුඩා දරුවන්ගේ eustachian නාලය වඩා කෙටි නිසා ඔවුන්ට වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන ඉක්මණින් සහ වැඩි වශයෙන් මැද කන දක්වාම පැමිණෙන නිසා ඔවුන් අතර කන් ආසාදන තත්ව ඇතිවීමේ ඉඩකඩ වැඩි බව සඳහන් කරන්න පුළුවන්.

පිටත කනේ ආසාදන 

කනේ පිටත වගේම කන් සිදුර ආසාදනය වීමත් දකින්න ලැබෙනව. මේ තත්වයන් බොහෝවිට ඇතිවෙන්නෙ කන් සිදුරේ වතුර රැඳී තිබිම නිසයි. කුඩා දරුවන් දිය නා අවසන් වූ පසු එහෙමත් නැත්නම් පිහිනා අවසන් වූ පසු කන් වල ඇති ජලය ඉවත් කිරීම වැදගත් වෙන්නෙ ඒ නිසයි. 

හොඳයි, කනේ ආසාදන කියන්නෙ මොනවද කියල දැන් ඔබට අවබෝධයක් තියෙනවනෙ. 

අපි ඊළඟට බලමු, කනේ ආසාදන තත්වයන් හඳුනාගන්න අපිට උපකාරී වෙන රෝග ලක්ෂණ මොනවද කියල? 

කනේ ආසාදන තත්වයන් හඳුනාගත හැකි රෝග ලක්ෂණ

කනේ වේදනාව හෝ කැසීම,

උණ හෝ හිසරදය, 

ශ්‍රවණාබාධ ඇතිවීම,

කන් අවහිර වී ඇති බව හෝ පිරී ඇති බව දැනීම වගේම කන ඇතුලේ කිසියම් ශබ්දයක් පැවතීම,

කැරකැවිල්ල හෝ සමබරතාව නොමැතිවීම,

ඔක්කාරය හෝ වමනය ඇතිවීම,

කනෙන් යම් තරලයක් හෝ ලේ පිටවීම,

කන රතු පැහැ වීම හෝ ඉදිමීම වගේ රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා නම් බොහෝවිට ඔබේ කන ආසාදනය වී තිබීමේ ඉඩකඩක් පවතින නිසා හැකි ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැහිල උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් කියල අපි ඔබට මතක් කරනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here