කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත් උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී අද (28) පැවැත්වෙයි.
මෙම මංගල්‍ය සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය බැතිමතුන්ගේ එකමුතුවෙනි.
ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා සාමාන්‍යයෙන් ඉන්දීය බැතිමතුන් 3500කට වැඩි පිරිසක් කච්චතිව් දූපතට පැමිණෙයි.
මෙම කොඩි එසවීමේ අවස්ථාවට නෙදුන්තීවු මීසම් භාර පියතුමා වන පත්තිනාදන් පියතුමා සහභාගී වූ අතර එතුමන් විසින් මංගල්‍යයේ ධජය ඔසවා උත්සව කටයුතු ආරම්භ කරන ලදි.
කොඩි එසවීමෙන් අනතුරුව යාපනය රදගුරු ජෙබරත්නම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මීසම් භාර පියවරුන් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ දේව මෙහෙයන් සිදුකෙරේ.
යාපනයට කිලෝමීටර 64ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි.
වර්ග කිලෝමිර් 1.15ක් පමණ කුඩා දූපතක් වන කච්චතිව් දූපත, ලාංකීය දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ය.
එහි අයිතිය මුල්කරගනිමින් අතීතයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන මතගැටුම් පවා නිර්මාණය වී තිබුණි.
නමුත්, 1974දී කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ දෙරටේම ධීවරයින්ට එය භාවිත කිරීම සම්බන්ධයෙන් කොන්දේසි ද පනවමින්ය.
එවන් පසුබිමක පවා වසරකට දින 02ක් එම දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය සැමරෙන්නේ දෙරටේම ධීවරයින්ගේ සහභාගීත්වයෙනි.
මෙවරත් කච්චතිව් මංගල්‍යයේ සියලු කටයුතු සිදුකෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙනි.
Saru News












