ඔන් මැක්ස්වල ජනතාව තැන්පත් කළ මුදල් අතුරුදන් 

0
4

ඔන්මැක්ස් ඩී.ටී  නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ ජනතාව විසින් තැන්පත් කළ රුපියල් කෝටි 800 කට අධික මුදලක්  සැකකාර අධ්‍යක්ෂකවරු  විසින් වංචාකර හෝ සොයා ගැනීමට නොහැකි දේපලක් බවට පත්ව ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා ඊයේ (09) පැවසීය.

රුපියල් කෝටි 1100 කට අධික මුදලක්  තැන්පත් කර ඇති බවට ජනතාව පැමිණිලි ඉදිරිපත් කර තිබුණද ,රහස් පොලිසිය මගින් මේ වන විට  අනාවරණය කරගෙන ඇත්තේ රුපියල් කෝටි 260 කට අසන්න දේපලක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වර්ඩ්  පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

සැකකාර අධ්‍යක්ෂකවරුන් විසින් තැම්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවීමට  සූදානම් නම් බවට අධිකරණය ඉදිරියේ පවසා ඇති හෙයින් ,මෙතෙක් අනාවරණය කර නොමැති කෝටි 800 ක මුදල ගෙවීම් කරන්නේ කෙසේදැයි අධ්‍යක්ෂකවරුන් අධිකරණය හමුවේ පැවසිය යුතු බවද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප ලැබූ සැකකාර අධ්‍යක්ෂක වරුන්වන  අතුල ඉන්දික. , ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්,සාරංග රන්දික,ධනංජය දයාන්,දිනේෂ් චතුරංග,සමන්ත කුලසිරි හා ඉසුරු පියුමාල්  ගයාන් චාමර  වික්‍රමතිලක,ප්‍රසන්න මදුරංග,මයුර දිල්ෂාන් , නිශාන්ත සමරකෝන් සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර  අධිකරණයේ පෙනී නොසිට  ජෝජියාවේ සිටිනවා යැයි කියන කකබර් අස්ලාන් ඉස්මත් යන සැකකරුට යළි වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

රජයේ නීතිඥ ඔස්වර්ඩ්  පෙරේරා මහතා  දක්වමින් මෙසේ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මුදල් ආයෝජනය කර අගතියට පත් තැන්පත්කරුවන්  20931පැමිණිලි කර තිබෙනවා.එම පැමිණිලි අනුව රුපියල් බිලියන 11කට අධික  මුදලක් සැකකරුවන් විසින් වංචා කර ඇති බවට ගණනය කළ හැකියි. නමුත් රහස් පොලිසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ රුපියල් බිලියන 2.6ක දේපළක් පමණයි.රුපියල්   කෝටි 840 කට අධික මුදලක් තවමත් සොයා ගැනීමට නැහැ.

සැකකරුවන් අධ්‍යක්ෂක ධුර දැරූ මුල්‍ය ආයතනයට අයත් ඉඩම් 31 ක් කොළඹ මහාධිකරණය මගින් තහනමට ගෙන තිබෙනවා.සැකකරුවන්ට අයත් බයිනෑන්ස් ගිණුම් සියල්ල මහ බැංකුව මගින් අත්හිටුවීමට කටයුතු කළා.

තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සැකකරුවන් මුල පටන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ නම් සොයා ගැනීමට නොහැකි මුදල් සම්බන්ධයෙන් ද සම්බන්ධයෙන්ද සැකකරුවන් විසින් කරුණු ඉදිරිපත් කළ යුතුයි.

මෙම අවස්ථාවේදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේ ස්ත්‍රාත්වරයා සැකකරුවන් විසින් බයිනෑන්ස් ගිණුම්වල පවත්වාගෙන ගිය අත්‍යන්ත මුදල් රජයට පවරා ගැනීමේ ක්‍රමවේදයේ ප්‍රගතියක් තිබේදැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබා දුන් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ රජයේ බයිනෑන්ස් ගිණුමක් විවෘත කර අත්‍යන්ත මුදල් ඊට ආරෝපණය කිරීම මහා බැංකුව මගින් සිදු කරන බවය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් කියා සිටියේ එම කටයුතු වේගවත් කරන ලෙසය.රජය මගින් බයිනෑන්ස් ගිණුමක් විවෘත කර අත්‍යන්ත මුදල් සිය භාරයට ගැනීම ලංකාවේ පළමු වතාවට සිදුවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මහ බැංකු නිලධාරීන් එම කටයුතු මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හා සහයෝගය ඇතිව නිත්‍යනුකූලව සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය.මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ නියෝජිතයින් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ඊට එක්විය යුතු බවද පෙන්වා දුන්නේය.

අගතියට පත් තැම්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනවිරත්න මෙනෙවිය කරුණු දක්වමින් කියා සිටියේ ඔන්මැක්ස් සමාගම  ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය දැක්වූ පහළ  නිලධාරින් රහස් පොලිසිය මගින්  තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවය.නම් කර ඇති අධ්‍යක්ෂකවරුන් පහළොස්දෙනාට අමතරව තවත් දිවයින පුරා ප්‍රවර්ධන නිලධාරින් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියාය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධීපතී නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දැක්වෙමින් කියා සිටියේ සැකකාර අධ්‍යක්ෂකවරුන් අතර රෝල්ස් රෝයිස් වාහන හිමි අධ්‍යක්ෂකවරුන්ද සිටින බවය.ඇතැම් සැකකරුවෙකුට බී එම් ඩබ්ලිව් වාහන පවා ඇති බව පැවසීය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ විමර්ශන කඩිනම් කරන ලෙසට පැමිණිල්ලට නියෝග කළේය.

දෙවන පෙළ අධ්‍යක්ෂකවරුන් වෙතොත් ඔවුන් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගන්නාා ලෙසද රහස් පොලිසියට නියෝග කළේය. විමර්ශන ප්‍රගතිය ජූලි 31 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here