‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නිසා IDH හිදී මැරුණ රෝගීන් දෙදෙනාගේ අවසන් වාර්තා සඟවලා – සජබ

0
15

මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවා ඇති ඉන්දියානු ඖෂධ සමාගමක් වන Maan Pharmaceuticals Ltd විසින් ගෙන්වන ලද ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) නැමැති එන්නත දීමෙන් පසුව කොළඹ අයිඩීඑච් (බෝවන රෝග විද්‍යායතනය) රෝහලේ රෝගීන් දෙදෙනාගේ මරණයට අදාළ අවසන් වාර්තාව සඟවා තබා ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරයි.

ඔවුන් මේ චෝදනාව කරනු ලැබුවේ ඖෂධ මිල පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ කාණ්ඩ 400 ක් පමණ මෙරටට ගෙන්වා ගත නොහැකිව රෝගී ජීවිත අවදානමකට වැටී ඇතැයි කියමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිල්ලක් කරමිනි.

ඊයේ (11) පෙරවරුවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ නායක වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් විසින්  ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයා යටතේ ඖෂධ නියාමනය දුර්වල මට්ටමට පත්ව ඇතැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

එසේම, ලියාපදිංචි නොමැති ඖෂධ පිළිබඳ වහාම විමර්ශනයක් කළ යුතු බවද එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇතැයි පැවසේ.

ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුවල සේවය කරන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් හා මහාචාර්යවරුන් ඖෂධ සමාගම් සමග ඍජු ගනුදෙනු කරන බවත්, එවන් තත්ත්වයක් තුළ මිල පාලන ගැසට්ටු හෝ ඖෂධ මිල පාලන කමිටුව ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

වෛද්‍යවරුන් ඇතුළු මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන්ගේ වැටුප් දීමනා වැඩිකිරීම සම්බන්ධයෙන්ද අවධානයට ලක්නොකිරීම කනගාටුවට කරුණක් බවද වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේවුවද, ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) නැමැති ඖෂධය සම්බන්ධයෙන් ජාතික ඖෂධ ගුණාත්මකභාවය සහතික කිරීමේ පරීක්ෂණාගාරයේ (National Medicines Quality Assurance Laboratory) සිදු කළ පරීක්ෂණයකින් එක් කාණ්ඩයක ගැටලු මතුව ඇති බව වාර්තා වේ.
අදාළ වාර්තාව හෙළිනොකර එම ඖෂධ්‍ය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමේ බලපෑම මත එය ඔස්ට්‍රේලියාවේ මධ්‍යස්ථයැයි කියන සමාගමක පරීක්ෂණයකට යොමු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කටයුතු කර ඇති බවට ද මේවන විට චෝදනා එල්ලවී තිබේ.

 ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ට කත්අදින බොරු ඖෂධ හිඟය

මේ අතර, ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) භාවිතය තාවකාලිකව තහනම් කිරීම නිසා මතුවන ඖෂධ හිඟයක් මඟහරවා ගැනීමට එයට ආදේශකයක් ලෙස වමනේ සහ ඔක්කාරයට ලබාදෙන ‘මැක්සලොන්’ නම් ඖෂධය ගෙන්වීමට හැකියාව තිබියදී එය ගෙන්වීමට කිසිදු සැලැස්මක් සකස්කර නොමැති බවද වාර්තා වේ.

මේ වන විට ‘මැක්සලොන්’ නම් ඖෂධය සෞඛ්‍ය පද්ධතිය තුළ හා පෞද්ගලික අංශයේදී නොමැතිව බරපතල තත්ත්වයක් ඇතිව ඇතැයි පැවසේ.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here