විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට අද (22) සිදුවිය.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ එංගලන්තයෙන් හිමිවූ ලකුණු 147ක ඉලක්කයකට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.
මෙය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය අඛණ්ඩව ලැබූ 12වන විස්සයි20 ජය වේ.
එමෙන්ම ශ්‍රී ලංකාව ලකුණු 95ක දැවීයාම සැලකෙන්නේ සිය රටේ දී රැස්කළ දෙවන අඩු ලකුණු සංඛ්‍යාව ලෙසය.
තවද මෙම පරාජය විස්සයි20 ලෝක කුසලාන තරගවලදී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ 6වන පරාජය ලෙස වාර්තා අතරට එක්විය.
අද තරගයත් සමග විස්සයි20 ලෝක කුසලාන තරගවලදී දෙරට අතර තරග 7ක් පැවැත්වී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.
එමෙන්ම 2012 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවකදී එංගලන්තය පරාජය කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව වසර 14කින් බලාසිටි ජය මෙවරත් පරාජයකින් අවසන්කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට පෙර දෙරට අතර මෙම ක්‍රීඩාංගණයේම පැවති තරග 3කින් යුත් විස්සයි20 තරගාවලිය 3-0කින් ජයගැනීමට එංගලන්තය සමත් විය.
එහි තෙවන තරගයෙන් එංගලන්තය ලබාදුන් ලකුණු 129ක ඉලක්කයද සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.
Saru News
















