ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතදී අනතුරට පත් ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි තිස් දෙනකු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකළ බව විදේශ ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා මන්ත්‍රි චාමර සම්පත් දසනායක ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ නෞකාව ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට ඉරානය බලා යාත්‍රාකරමින් තිබූ එකක් බව මේවන විට වාර්තා වන අතර එහි 180 දෙනකු එහි සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවුවද, එම මුහුදු තීරයේ තිබී මෙරට නාවික හමුදාවට මළ සිරුරු 80ක් පමණ හමු ව ඇතැයි ද පැවසේ.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් මෙසේද පවසා තිබිණි.
“මෙම නෞකාව අනතුරට ලක් වෙලා තියෙන්නෙ අපේ මුහුදු සීමාවේදි නෙවෙයි. ඒ නැව ගිලෙනවා කියන පණිවුඩය අපේ නාවික හමුදාවට හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට උදේ 5.08 ලැබී තිබෙනවා. ඒ අනුව අපි උදේ 6.00 වෙනකොට මැදිහත් වුණා. පළමු නෞකාව උදේ හය වෙනකොට යැව්වා. ඉන් පසුව පෙරවරු 7.00 ට පමණ තවත් නාවික යාත්‍රාවක් යැව්වා. ගුවන් හමුදාව, නාවික හමුදාව යන දෙපාර්ශ්වයම මැදිහත්වී දැඩි ලෙස අනතුරට පත්ව සිටි 30 දෙනකු පමණ බේරා ගැනීම වෙනුවෙන් මැදිහත් වුණා. එම නෞකාවේ 180 ක් විතර සිට තිබෙනවා, දැනට වාර්තා වන තොරතුරු අනුව. ඒ 30 දෙනාගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් මැදිහත්වී ඒ අය මේ වනවිට කරාපිටිය රෝහලට රැගෙන එමින් තිබෙනවා. අපි ජාත්‍යන්තර වශයෙන් බැඳී සිටිනවා,ජාත්‍යන්තර සාගර නීතින් වලට. ඒ වගේම සාර්ක් සම්මුතිය. අපි අත්සන් කරන ලද සම්මුතිය අනුව මුහුදු සීමාවන් වලට ඔබ්බෙන් යම් කිසි රටක නැවකට, එම නැවේ සිටින පිරිසට යම් අනතුරක් සිදුවුවහොත් රට , ජාතිකත්වය ගැන නොසිතා කුමන රටක් වුවද අනතුරට ලක්වීම සලකා මානුෂීය වශයෙන් ඒ අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මැදිවීමක් කරන්න අපි බැදී සිටිනවා. එය වගකීමක් . යුතුකමක්. මානුෂීයත්වයෙන් සිදුකළ යුතු මැදිහත්වීමක්. ඒ අනුව අපි එම මැදිහත්වීම සිදුකළා. දැන් මේ වනවිට දැඩි අනතුරට පත්වූ අයගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කරාපිටිය රෝහල අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මැදිහත්වෙමින් සිටිනවා.”
Saru News
















