ඉන්නන්ගෙන් කරදර අයට විසඳුම්

0
18


ඉන්නො කියන්නෙ සමේ හටගන්නා හරිම කරදරකාරී තත්වයක්. හියුමන් පැපිලෝමා කියන වෛරසයෙන් හට ගන්නා මේ රෝගය ඉතාමත්ම පහසුවෙන් අනෙක් අයටත් බෝ වෙන බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. මෙය බෝ වන්නේ ස්පර්ශය නිසයි. මෙම ඉන්නන් විවිධ ප්‍රමාණයන්ගෙන් මෙන්ම විවිධ වර්ණයන්ගෙනුත් දැක ගන්නට පුලුවනි. ස්තීර විසඳුමක් නැති වුණත්, තාවකාලිකව ඉවත් කිරීමට හෝ පැතිරීයාම වැළැක්වීමට නිවසේ දීම කළ හැකි ප්‍රතිකාර වගේම බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරත් තියෙනවා.

සුදු ලූණු – සුදු ලූණු වල අඩංගු වෛරස් නාශක සංයෝග නිසා ඉන්නන් පුලුස්සා දැමීම වගේම, ඉන්නන් පතුරුවන වෛරසය විනාශ කර දැමීමේ හැකියාවක්ද තිබෙනවා. තලාගත් සුදු ලූණු ඉන්නන් ඇති තැන්වල ආලේප කර පැය 24 ක් තබන්න. පසුව සෝදා දමන්න. දවස් කිහිපයකින් ඉන්නන් ඉවත්වෙනවා.

ඇපල් විනාකිරි, අන්නාසි යුෂ සහ ලෙමන් යුෂ – ඇපල් විනාකිරිවල අඩංගු ලැක්ටික් අම්ලත්, ලෙමන්වල ඇති විටමින් සී සහ අන්නාසි යුෂ වල ඇති එන්සයිමත් ඉන්නන්නට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා.

බෙටඩීන් – අයඩීන් අඩංගු බෙටඩීන් දියරයත් ඉන්නෝ ඇති කරන වෛරසයට එරෙහිව සාර්ථකව සටන් කලත් මෙය හැමෝටම යොදා ගන්නට බැහැ. ඇතැම් අයට බෙටඩීන් අසාත්මික වීමේ අවදානමක් තිබෙන නිසාවෙන් ඒ ගැන සැළකිලිමත් වියයුතු වනවා.

ඖෂධ ආලේප – මෙහිදී වෛද්‍ය නිර්දේශය මත ආලේප කළ හැකි ක්‍රීම් කිහිපයක් මෙහිදී ලබා දෙනවා. මේ ප්‍රතිකාර අනිවාර්‍යයෙන්ම වෛද්‍ය උපදෙස් මත සිදුවිය යුතු වනවා.

ක්‍රයෝ චිකිත්සාව – ද්‍රව නයිට්‍රජන් ආධාරයෙන් ඉන්නාව ඉදිමීමට ලක් කර, පසුව සූරා ඉවත් කිරීමයි මෙහිදී සිදුවන්නෙ. ආලේප වලින් ඉවත් කිරීමට අපහසු, තද ඉන්නන් ඉවත් කිරීමට මෙය සුදුසු ක්‍රමයක්. සතියකට කිහිප වරක් බැගින් සති දෙකක් පමණ ද්‍රව නයිට්‍රජන් ඉන්නා මතට එන්නත් කිරීමට මෙහිදී සිදුවනවා.

කෙරටෝලයිසිස් – සැලිසිලික් අම්ලය ආලේපය මගින් ඉන්නා ඇති කිරීමට හේතුවන වෛරසය විනාශකොට, ඉන්නා සුමුදු තත්වයට පත්වූ පසුව, පියුමික් ගලක් වැනි දෙයකින් සූරා දැමීම යි මෙහිදී සිදුවන්නේ.

ඉලෙක්ට්‍රෝ කෝටරයිසේශන් – මේ ක්‍රමයේදී වන්නේ ඉතාම සියුම් විදුලි දහරාවකින් ඉන්නාව පුලුස්සා ඉවත් කිරීමයි.

ලේසර් චිකිත්සාව – උණුසුම් තාප කිරණ මගින්, ඉන්නා වගේම, ඉන්නාට රුධිර සැපයුම ලැබෙන රුධිර සෛලත් පිලිස්සීම මෙහිදී සිදුකරනවා. සියයට අසූවක වගේ සාර්ථක ක්‍රමයක් වන මෙය තරමක් මිල අධිකයි.

ප්‍රතිශක්ති චිකිත්සාව – ඉහත ක්‍රම එකකින්වත් පාලනය කල නොහැකි නම් තමා මෙය යොදාගන්නෙ. මෙහිදී කරන්නේ ඉන්නා මත ඩයිෆෙන්සයිප්‍රෝන් වැනි රසායනිකයක් ආලේප කිරීමෙන් හෝ කැන්ඩිඩා ප්‍රතිදේහ ජනකයන් එන්නත් කිරීමෙන් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිශක්ති පද්ධතිය පෙළඹවීමයි. ආපසු ඉන්නන් හට ගැනීමද මේ නිසා අවම වනවා. ඒ වගේම මෙය බෝවන රෝගයක් නිසා පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීම හරිම වැදගත්. එක් අයෙකුගෙන් තවත් අයෙකුට වගේම ශරීරයේ එක තැනක සිට තවත් තැනකට ද ඉහාම ඉක්මනින් පැතිරෙන්න පුලුවන්.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here