ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගියේ ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා – ජනපති මන්නාරමේදී පවසයි

0
23


ජාතිවාදී ආණ්ඩු වෙනුවට මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගියේ ආණ්ඩුවක් ගොඩනැගී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
තවදුරටත් රට තුළ ජාතිවාදයට ඉඩක් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා වත්මන් රජය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සහෝදරත්වයෙන් සලකන සහ සියලුදෙනාගේ අයිතිවාසිකම් පිළිගන්නා ආණ්ඩුවක් බවද ඔහු පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට අද (17) මන්නාරමේදී එක් වෙමිනි.
පාරිසරික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර දැනට ඉදිකෙරෙමින් තිබෙන මන්නාරම – පුත්තලම මාර්ගයට විකල්ප යෝජනා සහිතව නව ආකාරයෙන් මන්නාරම සහ පුත්තලම යා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මෙම මාර්ගය විවෘත කිරීමෙන් පුත්තලම දක්වා දුර කි.මි 90කින් පමණ අඩුවන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව මේ රටේ ජනතාවට ඇහුම්කන් දෙන මෙන්ම ජනතාව වෙනුවෙන් වැඩකරන ආණ්ඩුවක් බවද අවධාරණය කළේය.
එසේම මන්නාරම සහ රාමේශ්වරම් අතර බෝට්ටු සේවාව නැවත ආරම්භ කිරීමට ඉන්දියානු රජය සමග සාකච්ඡා කරමින් තිබෙන බවත්, සුළං බලයෙන් විදුලිය උත්පාදනයට මන්නාරම සතු විභවතාව ප්‍රයෝජනයට ගැනීම වෙනුවෙන් ජනතා අදහස්ද විමසමින් පාරිසරික හානිය අවම වන පරිදි කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බවත් ජනාධිපතිවරයා පැවසීය.
පසුගිය යුද සමයේ ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කෙරුණු උතුරේ ඉඩම් නැවත ජනතාවට ලබාදීමට සහ වසා දැමුණු මාර්ග නැවත විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සකසන බවද පැවසු ජනාධිපතිවරයා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර පේසාලේ ප්‍රදේශයේ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමේ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
ජන රැලිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය,
“ලංකාවේ පළමු වතාවට මැතිවරණයකදී බෙදුණු දේශපාලනය අපි අවසන් කර දැමුවා. මීට පෙර මැතිවරණවලදී සිදු වුණේ ජනතාව බෙදීමයි. උතුරේ ජනතාව දෙමළ පක්ෂත්, නැගෙනහිර ජනතාව මුස්ලිම් පක්ෂත්, දකුණේ ජනතාව සිංහල පක්ෂත් තෝර ගන්නවා. නමුත් පසුගිය මහ මැතිවරණයේදී උතුර, දකුණ, නැගෙනහිර දෙමළ, මුස්ලිම්, සිංහල සියලුදෙනා තේරාගත්තේ ජාතික ජනබලවේගය ආණ්ඩුවයි. එම මැතිවරණයේදි අපි සියලුදෙනා එක් වුණා. ඒ නිසා නැවත කිසිදිනක අපි බෙදෙන්නේ නැතිව දේශපාලනය කරමු.
සියලු ජාතීන් එකට ජීවත්වන සමගියෙන් පිරිණු රටක් අපිට අවශ්‍යයි. අපි සියලුදෙනා ජාතිවාදයෙන් බැට කෑවා. එකිනෙකා අතර සැකය ඇති වුණා. ගැටුම් ඇති වුණා. යුද්ධය ඇති වුණා. මේ හමුවේ අපි ඇති තරම් ජාතිවාදී ගැටලුවලට මුහුණ දුන්නා. තවදුරටත් අපේ රට තුළ ජාතිවාදයට ඉඩ දෙන්නේ නැතිව ජාතික සමගිය ආරක්ෂා කර ගැනීම සඳහා අපි අලුත් ආණ්ඩුවක් හදලා තිබෙනවා. මෙය තමයි සමගියේ ආණ්ඩුව. වත්මන් ආණ්ඩුව සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාට සහෝදරත්වයෙන් සලකන ආණ්ඩුවක්. ඒ වගේම සියලු දෙනාගේ අයිතිවාසිකම් පිළිගන්න ආණ්ඩුවක්. මීට පෙර මෙවන් ආණ්ඩු ගොඩනැගී තිබුණේ නැහැ. එදා පැවතියේ ජාතිවාදී ආණ්ඩු. දැන් ජාතික සමගියේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. අපි පියවරින් පියවර මේ රට ගොඩනැගීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.
ජාතික සමගිය නිර්මාණය කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාවේ අයිතිවාසිකම්, නීති අණපනත්වල අයිතිවාසිකම්, භාෂාවේ අයිතිවාසිකම්, ආගම් ඇදහීමේ අයිතිවාසිකම්, සංස්කෘතික අනන්‍යතාව පිළිගැනීමේ අයිතිවාසිකම් අපි තහවුරු කරනවා. මේ රටේ තවදුරටත් ලොකු, පොඩි කියා ජන කණ්ඩායම් නැහැ. ඉන්නේ එකම ජන කණ්ඩායමයි. සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, උතුරේ, දකුණේ, නැගෙනහිර වේවා හැම තැනම ජීවත්වන්නේ ශ්‍රී ලාංකේය ජනතාව පමණක් බව අප සිහිපත් කරන්න කැමැතියි. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ අපි සිදු කරනවා. බෙදුණු යුගය අපි අවසන් කරනවා.
අපි දන්නවා උතුරේ යුද්ධය හේතු කොට ගෙන ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීම සිදු වුණා. ඇතැම් මාර්ග වසා දැමීමටත්, ඇතැම් පුද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගැසට් කිරීමත් සිදුව තිබෙනවා. අපි ඒ සියල්ල විසදා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට සහ තමන්ගේ ඉඩම්වල පදිංචිවීමටත්, වගා කිරීමටත් අවශ්‍ය පරිසරය සකස් කර දෙනවා.
ඒ වගේම අපි දන්නවා අපේ රට සංවර්ධනය කිරීමේදී මේ මන්නාරම ඉතා වැදගත් ප්‍රදේශයක්. මෙම අලංකාරවත් මුහුදු තීරය ඉතා වටිනා සම්පත් අපට එක්රැස් කර දී තිබෙනවා. මන්නාරමේ ජනතාව විශාල පිරිසක් ධීවර කර්මාන්තයෙන් ජිවත් වෙනවා. නමුත් අපි දන්නවා මේ පේසාලේ ප්‍රදේශයේ මත්ස්‍ය සම්පත නෙළා ගන්නේ කවුද කියලා. නීති විරෝධි මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් අපේ මුහුදට සිදු කරමින් තිබෙනවා. පසුගියදා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමග අප ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපේ මුහුද සහ අපේ මසුන් අපේ ජනතාවට අයිතියි. ඒ නිසා මෙම ප්‍රශ්නය විසදා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. ඒ වගේම මුහුදේ සිදුවන සියලු නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන ලෙස අපි නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා. අපේ මුහුද ආරක්ෂා කර ගැනීමට අපේ හමුදාවන්ගේ වගකීමක්. අපි එය ඉටු කරනවා.
ඒ වගේම කෘෂිකර්මාන්තයට අදාළ ඉඩම් ගැටලු අපි විසදනවා. පොහොර සහනාධාරය ලබා දෙන්නම්. ඒ වගේම වී ගබඩා ප්‍රතිසංස්කරණය කර වී මිලදී ගන්නම්. ඔබ වැඩ කිරීමට සූදානම් වන්න. ඊට අවශ්‍ය සහාය අපි ලබා දෙනවා.
එසේම මෙම මන්නාරම සහ රාමේශ්වරම් අතර විශාල බෝට්ටු සේවාවක් තිබුණා. යළි එම  බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අපි ඉන්දියානු රජය සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම මෙම මන්නාරම ප්‍රදේශය සුළං බලයෙන් විශාල ලෙස විදුලිය උත්පාදනය කළ හැකි ස්ථානයක්. පසුගිය සමයේ ජනතාවගේ හඩට ඇහුම්කන් නොදී පරිසර විනාශයන් සිදුවන ආකාරයට එම ව්‍යාපෘතිවලට එකඟතාව පළ කර තිබෙනවා. ඒ නිසා අපි ඒ සියල්ල තාවකාලිකව නතර කර තිබෙනවා. නමුත් මේ සම්පතින් ප්‍රයෝජන ගැනීම සඳහා ජනතා අදහස් විමසමින් පාරිසරික හානිය අවම වන පරිදි ජනතාගේ ජීවිතවලට හානියක් නොවන ආකාරයට වැඩ කරන්න අපි සූදානම්.
මේ ප්‍රදේශය ගැන දන්නේ ඔබයි. ඒ නිසා අපි මේ පරිසරය විනාශ කරන විනාශකාරී ව්‍යාපෘතිවලට ඉඩ ලබා දෙන්නේ නැහැ. සෑම ව්‍යාපෘතියක්ම ජනතාවගේ එකඟතාවෙන් අවම පරිසර හානියෙන් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. ඔබ දන්නවා මේ මන්නාරම සහ පුත්තලම අතර මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබෙනවා. මෙම මාර්ගය විවෘත කිරීමෙන් පුත්තලම දක්වා යන දුර කි.මි 90ක් පමණ අඩු වෙනවා. පාරිසරික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර දැනට ඉදිකෙරෙමින් තිබෙන මාර්ගයට විකල්ප යෝජනා සහිතව නව ආකාරයෙන් මන්නාරම සහ පුත්තලම යා කිරීමට අපි බලා පොරොත්තු වෙනවා. ආණ්ඩුවක වගකීම වන්නේ ජනතාවට පහසුකම් සැලසීමයි. ජනතාව පීඩාවට පත් කිරීමට සහ ගැටලුවලින් බැඳ තැබීමට ආණ්ඩු තිබී වැඩක් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් සහ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා.
අපි දන්නවා මීට අවුරුදු දෙක හමාරකට, තුනකට කළින් අපේ රටේ ආර්ථිකය මුළු මනින්ම කඩා වැටී තිබුණා. මේ මන්නාරමේත් එම ආණ්ඩුවල හිටපු ඇමතිවරු සිටියා. රාජ්‍ය ඇමතිවරු සිටියා. ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු මේ සියලුදෙනා එක් වී අපේ රටේ ආර්ථිකය බිඳ දැමුවා. ඉන්ධන, ඖෂධ ආනයන කරන්න බැරි රටක් තිබුණේ. එයින් පීඩාවට පත් වුණේ මේ රටේ ජනතාවයි. ගැටලු නිර්මාණය කළ අය පීඩාවට පත් වුණේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව එක්වී මේ ආණ්ඩුව හැදුවා. දැන් අපි ක්‍රමානුකූලව නැවත රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා.
අවුරුදු පහ, හයකට පසු විශාලම ඩොලර් සංචිතය අද අපේ රටේ තිබෙනවා. මාස හයක් තිස්සේ රුපියල සෙළවෙන්නේ නැතිව තිබෙනවා. අපි තෙල් මිල අඩු කළා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, අස්වැසුම දීමනාව වැඩි කළා පමණක් නොවෙයි ජූලි මාසයේ අලුතින් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා. අපි ජනතාව බලා ගත යුතුයි. පාසල් දරුවන්ට අවශ්‍ය සියලු නිල ඇදුම් ලබා දෙනවා. සිසුන් 300ට අඩු පාසල්වල දරුවන්ට නොමිළේ සපත්තු ලබා දෙනවා.
සිසුන් ලක්ෂ 16කට පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීමට රුපියල් හයදහස බැගින් ලබාදීමට කටයුතු කළා. එපමණක් නොවෙයි වසර ගණනාවකින් පසුව අලුතින් 30,000ක් රාජ්‍ය සේවයට බදවා ගැනීමට කටයුතු කරනවා. අද රැකියා ලබා ගැනීමට මන්ත්‍රීවරු පිටුපස යාමට අවශ්‍ය නැහැ. පුවත් පත් දැන්වීමක් පළ කරනවා. ඔබ අයදුම් පත් යොමු කරන්න. විභාගයෙන් වැඩිම ලකුණු ගන්න පිරිසට රැකියාව ලැබෙනවා.  
රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ වගේම පොලිසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ නිසා දෙමළ භාෂාව කතා කරන අය පොලීසියට අවශ්‍යයි. අපි මේ වසරේ අලුතින් පොලිසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව කතා කරන ඔබගේ දරුවන්ද පොලිස් සේවයට බඳවන්න. එය ඉතා ගෞරවාන්විත රැකියාවක්. අපේ රටේ නීතිය හා සාමය රැකීමට තිබෙන රැකියාවයි. අපි ඔවුන්ට හොද වැටුප් තලයකුත් ලබා දෙනවා. ඒ වගේම තව පහසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට දෙමළ භාෂාවෙන් කථා කරන අය එක් විය යුතුයි. අපි එකතුවෙලා මේ රට හදන්න ඕන.
මහා ආණ්ඩුව, ජනාධිපතිවරයා ලෙස මම සහ අපේ කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මහජනයාගේ රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ. රුපියලක්වත් නාස්ති කරන්නේ නැහැ. ලංකාවේ පළමු වතාවට හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තිබෙනවා. මහජනයාගේ ධනය නාස්ති නොකරන ආණ්ඩුවක් හදලා තිබෙනවා. මේ ලංකා ඉතිහාසයේ කිසිදා එවන් ආණ්ඩුවක් නිර්මාණය වී තිබුණේ නැහැ. ජනාධිපතිවරයා ලෙස පත් වූ දා සිට ඇමති ධුරයට පත් වූ දිනයේ සිට හොරකම් කිරීමටයි සැලසුම් කළේ. අද අපි රට හදන්නයි සැලසුම් කරන්නේ. අපි මේ ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් කළ යුතුයි. අපි හොරකම් කරන්නේ නැහැ වගේම හොරකම් කරපු අයට සහතික වශයෙන්ම දඩුවම් ලබා දෙනවා.
මිනිස් ඝාතනය, පාස්කු ප්‍රහාරය මේ සියල්ල පිළිබඳ අපි සොයනවා. අපේ රටේ ජනතාව නීතියට අනුගත වුණත් ලකයන් නීතියට ඉහළින් කටයුතු කරමින් නීතිය පාගා දැමුවා. එවන් රටකට ඉදිරියට යන්න බැහැ. අද දියුණු වූ සෑම රටකම නීතිය කාටත් සමානයි. අපි ඒ කටයුත්ත සිදු කරනවා.
අපි එකතුවෙලා ඉදිරියට යමු. මේ වසරේ උතුරු පළාතේ පාරවල් හදන්න දශ ලක්ෂ පන්දහසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම උතුරේ පොල් වගාව සංවර්ධනය කිරීමට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඔබ පොල් වගා කිරීමට සූදානම් නම් පැළ ටික ලබා දීම, බිම සකස් කර ගැනීමට මුදල් ලබා දීම සහ පොහොර සදහා මුදල් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. මේ වසරේ උතුරේ අක්කර 16,000ක පොල් වගා කිරීමට මුදල් වෙන් කර තිබෙනවා. එසේනම් මේ ප්‍රාදේශීය සභා ශක්තිමත් කර ගැනීමට අපි කටයුතු කරමු. ඒ සඳහා යෝජනා ලබා දෙන්න. අපි මුදල් වෙන් කරනවා. නමුත් අපි විශ්වාසදායක පිරිසක් ඊට පත් කර ගත යුතුයි. ඒ සඳහා මෙවර මැතිවරණයේදී ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. අපි ඉදිරියට යමු.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here