ඇස් රෝහලේ දොස්තරලා 50ක් එකවර මාරුවීම් ඉල්ලලා

0
4

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු පනහක් එකවර වෙනත් රෝහල්වලට මාරු වී යෑමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය සේවා කොමිසම මගින් දැනට නිර්දේශ කර ඇති මාරුවීම් යටතේ මෙම වෛද්‍යවරු පනස් දෙනා මෙම සතිය තුළ වෙනත් රෝහල් වෙත මාරු කර යවන ලෙස එම වෛද්‍යවරු ඉල්ලා සිටිති. 

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා දිගින් දිගටම මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කරන බවයි.

අක්ෂි රෝහලේ වෛද්‍යවරු වසර ගණනාවක් තිස්සේ එම රෝහලේ රැඳී සිටින බව කියමින් වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාව නොමග යවමින් සිටින බවද එමගින් කියා සිටී. 

රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වෛද්‍යවරුන් අපහසුතාවට පත් කරමින් අසත්‍ය චෝදනා එල්ල කරන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි..

අක්ෂි රෝහලේ වෛද්‍යවරු පනස් දෙනාට ස්ථාන මාරුවීම් දී අනුප්‍රාප්තික වෛද්‍යවරු මගින් රෝහලේ කටයුතු කරගෙන යන ආකාරය දෙස සංගමය බලා සිටින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා එම නිවේදනයෙන් කියා සිටී.

කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරු 50 ක් වෙනත් රෝහල්වලට ගිය පසු එම සේවය සඳහා අලුතෙන් එක්වන්නේ වෛද්‍යවරුන් බවත්, රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

ස්ථාන මාරුවීම් ලබා සිටින වෛද්‍යවරු අතර අක්ෂි විශේෂඥ වෛද්‍යවරු ඇතුළු විශේෂඥ වෛද්‍යවරු නොමැති බව ද ඔහු කියා සිටී. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යනු වසර සියයක් පැරණි කීර්තිමත් සංගමයක් බවත්, එම සංගමයේ මැදිහත්වීමෙන් වෛද්‍යවරුන්ටත් මෙරට සෞඛ්‍යය ක්ෂේත්‍රයටත් විශාල මෙහෙයක් කර ඇතැයිද එහෙත් රෝගීන් අපහසුතාවට පත් කිරීමේ අරමුනින් සංගමය යම් යම් තීරණ ක්‍රියාත්මක කිරීම අනුමත නොකරන බවද ජයරුවන් බණ්ඩාර සඳහන් කරයි.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු මාරු කිරීමට තමාට බලයක් නොමැති බවත්, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන්නක් බවද ඔහු පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදෙන උපදෙස් මත තමා කටයුතු කරන බවත්, අක්ෂි රෝහලට එන රෝගීන්ට නිසි පරිදි සේවා සැපයීම තමා ඇතුළු වෛද්‍යවරුන්ගේ වගකීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here