ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් අමතයි

0
6

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් අමතයි

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා (01) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගත් අතර, හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමක් සිදුකරන ලදී. ඉන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා විසින් ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මණ්ඩල නිලධාරීන් හඳුන්වා දීමෙන් අනතුරුව ඔවුන් සමඟ සාකච්ඡා පවත්වනු ලැබීය. මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

එහිදී මේජර් ජෙනරල් ජයසේකර, ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් අමතමින්, ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය සහ විශේෂයෙන් ආපදා කළමනාකරණ මෙහෙයුම් වලදී ඔවුන් ලබා දෙන ක්‍ෂණික හා ඵලදායි ප්‍රතිචාර වල වැදගත්කම අගය කළේය. එමෙන්ම, ගුවන් හමුදාව තුළ සියලු අංශ සම්බන්ධයෙන් දැඩි වගවීම පවත්වා ගැනීමේ වැදගත්කමද, ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, ජාතිය ගොඩනැගීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව යළිත් තහවුරු කළ ඔහු, රටේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ උපරිම හැකියාව කැප කරන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියලුම ගුවන් හමුදා සාමාජිකයන් වෙත සිහිපත් කළේය. එමෙන්ම, ගුවන් හමුදාවේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක බාහිර ව්‍යාපෘති වල නියැලී සිටින හමුදා සාමාජිකයින් පිළිබඳව සමීපව සම්බන්ධ වෙමින් අධීක්‍ෂණය කරන ලෙසත්, එවැනි ක්‍රියාකාරකම් සෑම අංශයකින්ම ඉහළම වෘත්තීයභාවයකින් සහ නිසි ප්‍රමිතීන්ට අනුකූල වන බවට සහතික වන ලෙසත්, ඔහු ප්‍රකාශ කර සිටියේය. ජාතික ආරක්‍ෂාව සහ සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී ඔවුන්ගේ හමුදාමය වගකීම් මනාව ඉටු කරන ලෙසත්, බහුකාර්ය ප්‍රවේශයක් වශයෙන් කාර්යක්‍ෂමව ක්‍රියා කරන ලෙසත්, ඔහු උපදෙස් ලබා දුන්නේය.

සාමකාමී රටක් වෙනුවෙන් සිදු කළ මානුෂීය මෙහෙයුම් වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය සහ ජාතික සංවර්ධන මුලපිරීම් වෙනුවෙන් දක්වන ලද අඛණ්ඩ කැපවීම ද, ඔහු ප්‍රශංසාවට ලක් කරන ලදි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here