“මචං අරකිගේ වීඩියෝ එක දැක්කද?”
අද කාලේ ලංකාවේ වට්ස්ඇප් ගෲප් එකක, ටෙලිග්‍රෑම් චැනල් එකක වැඩියෙන්ම හුවමාරු වෙන මැසේජ් එකක් තමයි මේ.
තමන් පණටත් වැඩිය ආදරේ කරපු කෙනා එක්ක ගත කරපු අතිශය පෞද්ගලික මොහොතක් මුළු රටම බලන බ්ලූ ෆිල්ම් එකක් වෙනකම් ඒ කෙල්ලවත්, කොල්ලවත් හිතන්නේ නැහැාදරේට පුළුවන් කියලා ඒ විදියට ලීක් වෙන්න. අද අපි කතා කරන්නේ ලංකාවේ රිලේෂන්ෂිප් ට්‍රෙන්ඩ්ස් අතර තියෙන භයානකම පැත්තක් වෙන වීඩියෝ ලීක් වීම් ගැනයි.
ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් පටන් ගන්නේ හරිම සුන්දර විදිහට.
“ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද?”
“අපි කොහොමත් කවදාහරි බඳිනවනේ”
“මේවා අපේ ෆෝන් වල විතරයි තියෙන්නේ”
“මට ඔයාගෙ ලස්සන බලන්න ඕන” වගේ ආදරණීය වචන වලට ඕනෑම කෙනෙක් රැවටෙනවා. විශේෂයෙන්ම ලංකාවේ තරුණ පරපුර අතර ඩිජිටල් ආදරය කියන දේ දැන් සාමාන්‍ය දෙයක් වෙලා. පෙම්වතා හෝ පෙම්වතිය ඉල්ලන පෞද්ගලික පින්තූරයක්, වීඩියෝ එකක් යවන එක තමන්ගේ ආදරය පෙන්වන ක්‍රමයක් කියලා ගොඩක් අය හිතනවා.
හැබැයි මතක තබා ගන්න, ඔයා යවන ඒ එක වීඩියෝ එකක් හෝ පින්තූරයක් ඔයාගෙ සහකරුගේ ෆෝන් එකට ගියාට පස්සේ ඒකේ පාලනය සම්පූර්ණයෙන්ම ඔයාගෙන් ගිලිහෙනවා. අද දවසේ ඔයාට ලෝකේ ඉන්න හොඳම කෙනා වගේ පේන පෙම්වතා, හෙට දවසේ රණ්ඩු වෙලා වෙන් වුණාම ඔයාගෙන් පළිගන්න ඉන්න දරුණුම හතුරා වෙන්න පුළුවන්. ලංකාවේ මෑතකදී සිද්ධ වුණු ගොඩක් සිදුවීම් වලදී පේන්න තියෙන්නේ, සම්බන්ධතාවය බිඳී ගිය පස්සේ ඒ තරහ පිරිමහගන්න පිරිමි ළමයින් මේ පෞද්ගලික දත්ත සමාජ මාධ්‍යවලට මුදා හරින බවයි.
සමහර වෙලාවට සහකරුගේ වරදක් නැතිව වෙන්නත් පුළුවන්. ෆෝන් එක නැති වීම, රෙපයාර් කරන්න දීම හෝ වෙනත් කෙනෙක් අතට පත්වීම නිසාත් මේවා ලීක් වෙනවා. කොහොම වුණත් මෙතැනදී වැඩියෙන්ම බැට කන්නේ ගැහැණු ළමයා. සමාජයෙන් එල්ල වෙන මඩ ප්‍රහාරය, පවුලේ අයගේ අවලාද සහ අවසානයේ ජීවිතය පවා නැති කරගන්නා තැනට මේක දුරදිග යන්න පුළුවන්.
ඔයාගෙ ආදරය පෙන්වන්න නිරුවත් වීම අත්‍යවශ්‍ය නැහැ. සැබෑ ආදරය තියෙන්නේ හදවත් දෙකක් අතර මිසක්, මෙමරි කාඩ් එකක හෝ ක්ලවුඩ් ස්ටෝරේජ් එකක නෙවෙයි. නිරුවත් පින්තූරයක හෝ වීඩියෝ එකක නෙවෙයි.
මේ වගේ දේවල් කොච්චර කරන්න එපා කියලා අපි කිව්වත් අපිට මාස කිහිපයකටම සැරයක් මෙහෙම දෙයක් අහන්න දකින්න සිද්ද වෙන නිසා අපි බලමු මේ වගේ දෙයකින් තමන්ගේ ජීවිතය සහ ගෞරවය බේරගන්නේ කොහොමද කියලා. මොකද ආදරේ කරන කාලේ අපිට ඕනෑම වැරැද්දක් වෙන්න පුළුවන්, හැබැයි ඒ වැරැද්ද මුළු ජීවිත කාලෙම විඳවන්න හේතුවක් කරගන්න එපා. එහෙම වෙන්න උවමනාවත් නැහැ.
මුලින්ම මතක තියා ගන්න, ඕනෑම ස්මාර්ට් ෆෝන් එකක් හෝ ඇප් එකක් සියයට සීයක් ආරක්ෂිත නැහැ.
Snapchat එකේ යැව්වම Delete වෙනවනේ” හරි “WhatsApp වල View Once දැම්මම කවුරුත් දකින්නේ නැහැනේ” කියලා හිතන්න එපා. තව ෆෝන් එකකින් ඒක වීඩියෝ කරන්න හෝ ෆොටෝ එකක් ගන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි, කවදාවත් තමන්ගේ නිරුවත් හෝ අතිශය පෞද්ගලික පින්තූර කිසිම ඩිජිටල් මාධ්‍යයකින් හුවමාරු නොකිරීම. “No” කියන්න ඉගෙන ගන්න. ඒකෙන් ආදරේ අඩු වෙන්නේ නැහැ, ඇත්තටම ඔයාට ආදරේ කෙනෙක් නම් ඔයාගේ ඒ තීරණයට ගරු කරනවා.
හරි, හිතමු ඔයා අතින් මේ වැරැද්ද වුණා කියලා. දැන් ඔයාගේ සහකරු ඒ වීඩියෝ එක පෙන්නලා ඔයාව බ්ලැක්මේල් කරනවා නම්, නැත්නම් ඒක ලීක් කරලා නම් ඔයා මොකද කරන්නේ? ගොඩක් අය කරන්නේ බය වෙලා මැරෙන්න හදන එක. ඒක කරන්න එපා!
ලංකාවේ දැන් Online Safety Act වගේ නීති තියෙනවා.
කෙනෙක්ගේ අවසරය නැතුව පෞද්ගලික දේවල් ශෙයාර් කරන එක ලොකු හිරේ යන්න පුළුවන් වරදක්. ඔයාට පුළුවන් වහාම කොළඹ තියෙන CID (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) එකට හරි, ළඟම තියෙන පොලිසියට හරි ගිහින් පැමිණිල්ලක් දාන්න. ඒ වගේම Social Media Hotline (1919) එකට කතා කරලා උපදෙස් ගන්නත් පුළුවන්. ඔයා පැමිණිල්ලක් කළොත් ඒ වීඩියෝ එක අන්තර්ජාලයෙන් ඉවත් කරන්න සහ ඒක ශෙයාර් කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් තාක්ෂණය දැන් ලංකාවේ තියෙනවා.
CERT|CC (Sri Lanka Computer Emergency Readiness Team) සම්බන්ධ කරගන්න.
මේක තමයි ලංකාවේ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව ගැන බලන ප්‍රධානම ආයතනය. ඔයාගේ වීඩියෝ එකක් හෝ පින්තූරයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ තැන්වල පැතිරෙනවා නම්, ඒක අයින් කරන්න අවශ්‍ය තාක්ෂණික සහාය සහ උපදෙස් මෙයාලගෙන් ලබාගන්න පුළුවන්. මෙයාලගේ වෙබ් අඩවිය හරහා හෝ 011 269 1692 අංකයෙන් මෙයාලව සම්බන්ධ කරගන්න පුළුවන්.
ශ්‍රී ලංකා කාන්තා හා ළමා කාර්යාංශයට (Women and Children’s Bureau) දැනුම් දෙන්න.
විශේෂයෙන්ම ඔයා කාන්තාවක් නම්, මේ වගේ ප්‍රශ්නයකදී සිදුවන අපහසුතාවයන් ගැන කතා කරන්න පොලිසියේ මේ අංශය ගොඩක් උදව් කරනවා. හැම ප්‍රධාන පොලිස් ස්ථානයකම වගේ මේ ඒකකය තියෙනවා. එතන ඉන්න නිලධාරිනියක් එක්ක ඔයාට වඩාත් පහසුවෙන් මේ ගැන කතා කරන්න පුළුවන්.
සාක්ෂි එකතු කරගන්න (Collect Evidence).
බය වෙච්ච පාරට ගොඩක් අය කරන්නේ අර බ්ලැක්මේල් කරන මැසේජ් ටික ඩිලීට් කරන එක. ඒක කරන්න එපා. ඔයාව බය කරන හැම මැසේජ් එකකම, වීඩියෝ එකක් ලීක් කරපු ලින්ක් එකකම Screenshots අරන් තියාගන්න. ඒ වගේම ඒ පුද්ගලයාගේ ෆෝන් නම්බර් එක සහ සෝෂල් මීඩියා ප්‍රෝෆයිල් ලින්ක් එක සේව් කරගන්න. නීතිමය පියවරක් ගද්දී මේවා තමයි ඔයාගේ ප්‍රධානම ආයුධ වෙන්නේ.
විශ්වාසවන්තම කෙනෙක්ට මේක කියන්න.
මේ වගේ වෙලාවට තනියම හිතන්න ගියොත් වෙන්නේ බය වැඩි වෙලා මෝඩ තීරණ ගන්න එක. ඒ නිසා තමන්ට ඇත්තටම ආදරේ කරන, ප්‍රශ්නයක් වුණාම බනින්නේ නැතුව උදව් කරන එක යාළුවෙක්ට හරි, පවුලේ කෙනෙක්ට හරි මේක කියන්න. ප්‍රශ්නය බෙදාගත්තම හිතට දැනෙන බය ගොඩක් අඩු වෙනවා.
Social Media වලින් පොඩ්ඩක් ඈත් වෙන්න (Digital Detox).
වීඩියෝ එකක් ලීක් වුණාම අපි හැමතිස්සෙම බලන්නේ “කවුද මේක දැක්කේ?”, “කවුද කමෙන්ට් කරලා තියෙන්නේ?” කියලා. ඒකෙන් වෙන්නේ මානසිකව තවත් වැටෙන එකයි. ඒ නිසා ටික දවසකට FB, Instagram, WhatsApp අයින් කරලා ඉන්න. ඔයා ඒ දිහා බල බල ඉන්න එකෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ, ඔයාගේ හිත තවත් පිස්සු වැටෙන එක විතරයි වෙන්නේ.
තමන්ටම දොස් කියාගන්න එක නතර කරන්න.
“මම මොන තරම් මෝඩයෙක්ද?”, “මම හැමදේම විනාශ කරගත්තා” කියලා හිතන්න එපා. ඔයා කළේ කෙනෙක්ව විශ්වාස කරපු එක විතරයි. වැරැද්ද කළේ ඒ විශ්වාසය කඩපු කෙනා මිසක් ඔයා නෙවෙයි. ඒ නිසා ලැජ්ජාවෙන් හැංගිලා ඉන්නේ නැතුව, වැරදිකාරයාට විරුද්ධව කෙලින් හිටගන්න ශක්තිය හදාගන්න.
වෘත්තීය උපදේශනයක් (Counseling) ලබාගන්න.
මේක ලංකාවේ ගොඩක් අය කරන්න ලැජ්ජ වෙන දෙයක්. හැබැයි මේ වගේ ලොකු මානසික කඩාවැටීමකදී උපදේශකයෙක් එක්ක කතා කරන එක ගොඩක් වැදගත්. 1926 (සමස්ත ලංකා මානසික සෞඛ්‍ය උපකාරක සේවය) වගේ අංකයකට කතා කරලා ඔයාගේ හිතේ තියෙන බය සහ පීඩනය ගැන නොමිලේම උපදෙස් ගන්න පුළුවන්.
බය වෙලා ඉන්නවාට වඩා කාර්යබහුල වෙන්න.
මේ ප්‍රශ්නය ගැනම හිත හිතා ඉන්න එකෙන් වෙන්නේ මානසිකව වැටෙන එක. ඒ නිසා වෙනදා කරන වැඩ, අධ්‍යාපන කටයුතු හෝ රස්සාවේ වැඩ ටික වෙනදා වගේම කරන්න උත්සාහ කරන්න. ඔයා සාමාන්‍ය විදිහට ඉන්නවා දකිද්දී බ්ලැක්මේල් කරන කෙනාට තියෙන පවර් එකත් අඩු වෙනවා.
අවසාන වශයෙන්, යාළුවන්ටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. තව කෙනෙක්ගේ ජීවිතයක් විනාශ වෙන වීඩියෝ එකක් ඔයාගේ ෆෝන් එකට ආවොත්, ඒක බලලා ආතල් එකක් අරන් තව කෙනෙක්ට යවන්න එපා. ඒක මනුස්සකම නෙවෙයි. අද ඒ දේ වුණේ වෙන කෙනෙක්ට වුණාට හෙට ඒක ඔයාගේ සහෝදරියකට හෝ ඔයාටම වෙන්න පුළුවන්.
මතක තබා ගන්න, ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ එක වීඩියෝ එකකින් නෙවෙයි. ප්‍රශ්නයක් වුණොත් බය නොවී උදව් ඉල්ලන්න. ජීවිතය කියන්නේ වීඩියෝ එකකට වඩා ගොඩක් වටින දෙයක්!
Saru News
















