අසීමිත ලෙස වැඩි කර ඇති ගෑස්, ඉන්ධන මිල සහ විදුලි බිල අඩු කර ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න – විපක්ෂ නායක සජිත්

0
6

අප්‍රේල් 06, කොළඹ LNW:

පොදුජනතාවගේ දුක පිළිබද අවබෝධයක් නොමැති වත්මන් රජය අසීමිත ලෙස ගෑස් මිල ද ඉහළ දමා ඇති බවත් ජනතාවගේ ජන ජීවිතයට අත්‍යාවශ්‍ය ඉන්ධන විදුලිය සහ ගෑස් යන 3ම කෙටි කාලයක් තුළ ඉතාමත්ම ඉහළම මිලකට දැමීම තුළ අප රටේ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව අසීමිත පීඩනයකට අසහනයකට වචනවලින් විග්‍රහ කළ නොහැකි කම්පනයකට ලක්ව ඇති බවත් වත්මන් රජය මේ මිල වැඩි කිරීමේ තත්ත්වය නිවැරදිව කළමනාකරණය කළ යුතු වුවත් එය සිදු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට රටට අවශ්‍ය ගෑස් සම්පත නිශ්චිත ප්‍රමාණයකින් සැපයුම්කරුවන්ගෙන් ලැබෙයිද කියා අවිනිශ්චිතතාවක් මතුව තිබෙන බවත් ඊට අමතරව ශීඝ්‍ර මිල ඉහළ දැමීමක් තුළ රටේ ජනතාව අන්තර අසරණ කර ඇති බවත් මැදපෙරදිග යුද්ධය සමඟ හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම තුළ ඉන්ධන හා ගෑස් සැපයුමට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනවා කියා විපක්ෂය පාර්ලිමේන්තුවේ පෙන්වා දෙන විට විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළත් අද වන විට ගෑස් හා ඉන්ධන මිල ඉහළ යාමේ බර පාරිභෝගික ජනතාව කරපිට පටවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ලෝකයේ සෙසු රටවල් පවා ජනතාවට සහන දෙන්න පටන් අරන්

මේ මොහොත වන විට සෑම ක්ෂේත්‍රයකින් සහන දෙන්න ලෝකයේ රටවල් මුලපුරා ඇති බවත් ඔස්ට්‍රේලියාව නවසීලන්තය එක්සත් රාජධානිය දකුණු කොරියාව වැනි රටවල් පවා සහන දෙන බවත් ඉන්දියාව පාකිස්ථානය බංග්ලාදේශය මැලේෂියාව ඊජිප්තුව ආදී රටවල් පවා විවිධාකාර සහන ජනතාවට සපයන විට වත්මන් රජය නොනවත්වාම පීඩනය ජනතාව කරපිට පැටවීම බවත් රජයේ වගකීම වන්නේ පීඩනය ජනතාව කරපිට පැටවීම නොව පීඩනයට පත් ජනතාවට සහන දීම බැවින් විශේෂ ආර්ථික සහන පැකේජයක් ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න විපක්ෂයත් සහයෝගය ලබා දෙන්නම්

මේ සහන සුපිරි පොහොසතුන්ට නොව මැද පන්තිය ඇතුළු දුප්පත් ජනතාවට මේ සහන ලබා දිය යුතු බවත් හඩක් නොමැති ජනතාවට සහන ලබා දී අමාරුවෙන් ජිවත් වන මේ ජනතාවට සහන ලබා දීම රජයේ ප්‍රමුඛතම කාර්ය බවත් හෙට පාර්ලිමේන්තුව රැස්වන මොහොතේ ජනතාවට මූල්‍ය සහන පැකේජයක් ඉදිරිපත් කරනවා නම් එය ප්‍රමාණාත්මකව සෑහිමකට පත් වන්නේ නම් පුර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මහාභාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් ජනතාවට සහන දෙන්න

මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි යන්න මුදල් තිබෙනවා යැයි රජය කියන නිසා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එය පිළිගෙන ඇති නිසාත් රජය ඉහළ ආදායම් ලැබූ නිසාත් මේ මුදල් ජනතාවට සහන ලබා දෙන්න උපයෝගී කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කරන්න ගෑස් විදුලිය සහ තෙල් මිල අඩු කර වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් රජයට සමීප වහලුන්ට සල්ලි ලබා දී සමාජ මාධ්‍ය හරහා විහිලුවට ලක් නොකර සැබවින්ම ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාව ජිවත් කරවීම රජයේ වගකීමයි

දැන්වත් මේ විහිලු නවත්වා සුපිරි ධනවතුන් හැර දුක්විදන ජනතාවට මැද පන්තියට වහාම ආර්ථික සහන පැකේජයක් ලබා දෙනවා සේම ගෑස් ඉන්ධන හා විදුලි බිල් අඩු කළ යුතු බවත් රටේ ජනතාව ජීවත් කරවීම රජයේ වගකීම බැවින් ඒ යුතුකම ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

The post අසීමිත ලෙස වැඩි කර ඇති ගෑස්, ඉන්ධන මිල සහ විදුලි බිල අඩු කර ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here