ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින ධීවර සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ‘අලුත් අවුරුද්දට අලුත් මාළු අලුත් මිලට’ යන තේමාව යටතේ කොප්පරා සහ සප්පරා වැනි මසුන් සහනදායී මිලකට ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය. ජනාධිපතිතුමන් විසින් ලබා දෙන ලද ප්‍රතිපාදන මත ධීවර සංස්ථාවේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ පාරිතෝෂික (Gratuity) දීමනා ගෙවීම කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
භාණ්ඩාගාර ප්‍රතිපාදන මගින් ණය පියවීම සහ ජපන් ආධාර යටතේ ලැබෙන අධිශීතකරණ ට්‍රක් රථ (Freezer Trucks) ව්‍යාපෘතිය මෙන්ම, රුපියල් මිලියන 86ක වියදමින් ඉදිකෙරෙන මෙට්‍රික් ටොන් 150ක ධාරිතාවයෙන් යුත් නව අධිශීතනාගාරය සහ බ්ලාස්ට් ෆ්‍රීසර් (Blast Freezer) ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ද මෙහිදී පියවර ගැනිණි.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, රජය දුෂ්කරතා මැද වුවද සේවක සුබසාධනය වෙනුවෙන් කැපවී සිටින බවත්, මෑතකදී ලබා දුන් රු. 10,000ක දිරි දීමනාව ඊට සාක්ෂියක් බවත්ය. පක්ෂ භේදයකින් තොරව ආයතනයේ දියුණුව වෙනුවෙන් සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙසත්, ආයතනික පිරිසිදුකම සහ පිළිවෙළ පවත්වාගෙන යාම සැමගේ වගකීමක් බවත් ඔහු අවධාරණය කළේය.
ධීවර සංස්ථා සභාපති Mohammad Nowras Nasar මහතා සඳහන් කළේ, මින් ඉදිරියට ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අලෙවිසැල් ආරම්භ නොකරන බවත්, බස්නාහිර පළාත තුළ අලෙවි ජාලය පුළුල් කිරීමට සහ ත්‍රිරෝද රථ මගින් මත්ස්‍ය නිෂ්පාදන රට අභ්‍යන්තරයට බෙදා හැරීමට පියවර ගන්නා බවත්ය.
මෙම අවස්ථාවට ධීවර සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වූහ.
Saru News
















