බයික් එකකින් ට්‍රිප් එකක් යෑම කියන්නේ වෙනමම ආතල් එකක්. ලංකාව ලස්සන දූපතක් නිසා ඒ විදියට බයික් එකකින් යන්න පුලුවන් ලස්සන පාරවල් ගොඩාක් අපිට තියෙනවා. බයික් එකකින් යද්දි ලැබෙන කික් එක අනුන්ගේ වාහනේක එල්ලිලා ගිහින් ගන්න අමාරුයි. අපි ඒ විදියට බයික් ආතල් සුපිරියටම ගත හැකි රූට් ගැන දැනකියාගමු.
1. නැගෙනහිර වෙරළබඩ පාර

Source – batticaloahotels.com
බස්නාහිර වෙරළබඩ තියෙන මීගමුව, ගාල්ල, කොළඹ පාරවල් නම් හවසට උදේට වගේම දැන්නම් දවල්ටත් ට්‍රැෆික්. ඒත් නැගෙනහිර වෙරළබඩ පාරවල ටවුන් වල තිබෙන කාතන්කුඩි, ට්‍රින්කො බැටී වගේ ජනාකීර්ණ මාර්ග හැරුනාම බෙහෝවිට පාරවල් බෙහොම නිදහස්. පානම අරුගම්බේ දෙසට වෙන්න නම් පාර අයිනට වෙලා බලං උන්නාම වාහනයක් යන්න විනාඩි 10-15ක් ඉන්න වෙන වෙලාවල් තියෙනවා. මූදු තීරයට ළඟින්ම යන පුල්මුඩේ පළාතෙදි වෙරළ තීරය මහ පාරටත් නිල්පාටින් දිස්වෙන අවස්ථාත් තිබෙනවා. ඒ මාර්ගවල දී වෙරළ තීරය හොඳින්ම විඳගන්නට හැකියි. කඩොලාන වගුරු බිම්, සුන්දර සුදු වෙරළ තීරු, අලංකාර පාලම්, ජනශුන්‍ය ප්‍රදේශ මේ නැගෙනහිර වෙරළබඩ තීරයේ බයික් සවාරියකදී අපේ නෙතට හසු වෙනවා.
2. යකාගේ පඩිපෙළ පාර

Source – youtube.com
කොළඹ බදුල්ල බස් යන පාරේ බෙලිහුල්ඔය දිසාවේ තිබෙන කළුපහනින් පටන් අරං බඹරකන්ද දිය ඇල්ල අසබඩින් වැටී ඇති මාර්ගය යකාගේ පඩිපෙළ ලෙස හඳුන්වනවා. මෙම මාර්ගය ගොස් වැටෙන්නේ ඔහිය ස්ටේශමේ සිට හෝටන් තැන්නට පිවිසෙන මාර්ගයට. හෝටන් තැන්නේ පහළ පළාතක ඇති අලංකාර තේ වත්තක් සහ කමනීය බඹරකන්ද දිය ඇල්ල අසලින් ඇදී ඇති මෙම යකා පඩිපෙළ මාවත තරමක දුෂ්කර එකක්. සමහර තැන්වල පාර පටුයි. ඒ වගේම ගල් ගැලවිලා. කොහොම වුනත් සීතල වදින කාලයක ගියොත් සීතලත් විඳදරාගෙන එන්න පුලුවන් පාරක් තමයි යකාගේ පඩිපෙල පාර.
3. මීගහකිවුල පිටමාරුව මඩොල්සිම පාර

Source – lakdasun.com
ඔරිජිනල් ලෝකාන්තයට යන්න නම් අපිට ඒ මුරකුටි වලින් ටිකට් අරගෙන කිලෝමීටර තුන හතරක් පයින්ම යන්නට වෙනවා. ලෝකාන්තය තද බෑවුම ළඟටම බයික් එකෙන්ම යන්න පුලුවන් ලෝකාන්තයක් පිටමාරුව මඩොල්සිම දිහා තියෙනවා. මේ පාර මීගහකිවුලෙන් පටන් අරං ගියොත් හරිම ලස්සන පළාත් කිහිපයක්ම හමු වෙනවා. ෆයිනස් කැලේ, ඇකේශියා කැලේ, කෙත්වතු, තේ වතු මැදින් යන මෙම මාවත ඉතාම පැරණි මාවතක්. මේ අඩවියේ කරක් ගහනවා නම්, ඒ ආසන්නයේ මඩොල්සිම දෙස ඇති කොහොනවල වැනි සාමාන්‍ය සමාජයෙන් දුරස් වුනු, දිනකට පැය කිහිපයක් පමණක් ඉර පායන ගම්මානයකට ගොසින් එන්නටත් මේ ගමනේදි හැකි වේවි.
4. A-32 හරහා යාපනේ

Source – timeout.com
සංගුපිඩ්ඩි පාලම කියන්නේ ලංකාවේ තිබෙන දිගම පාලමක්. ඒ වගේම හිරිගල් මත පිහිටා ඇති යාපන අර්ධද්වීපයේ සවාරියත් බයික් එකකින් ගහන්න පුලුවන් හොඳ රවුමක්. සංගුපිඩ්ඩි පාලමේ තෙරක් නොපෙනන තෙක් තිබෙන දීර්ඝ පාලම් දර්ශනය මනරම් එකක්. යාපනයේදී දූපත් අතර සංචාරය කරන විටත් දෙපසින්ම නිසල මුහුද හෝ කලපුව මත ඉදිකල මෙවැනි පාරවල් තිබෙනවා. යාපනයේ ගමන යකාගෙ පඩිපෙල වගේ විශාල අභියෝගයක් නෙමෙයි. ඒත් බයික් එකෙන් යාපනේ යෑම කියන්නෙත් බයික් ලෝලියෙක් විසින් පසුකල යුතු සන්දිස්ථානයක්.
5. යටියන්තොට අයි ටී එන් ටවර් එක

Source – lakdasun.com
ඉස්සර ගුවන්විදුලි යන්ත්‍රයට සවන් දුන් අයෙක් නම් යටියන්තොටින් මෙගහර්ට්ස්… කරගහතැන්නෙන් මෙගහර්ට්ස්… ආදි වශයෙන් ඔබට ඇසිලා ඇති. එදා මිඩ් වේව් හරහා සංසරණය වූ ගුවන් විදුලි සංඥා බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඒ නම් වලින් හැඳින්වූවා. මේ යටියන්තොට ටවර් එකට යන මාර්ගයත් තේ වතු මැදින්, මීදුම ගලන කාලයක නම් මීදුම මැදින් යන ගමනක්. මේ මාර්ගයේ යනවිට මාර්ග පහසුව ක්‍රමවත් වන්නට කලින් කේබල් හරහා තේ දලු ඇදීමට යෙදුනු පැරණි ක්‍රමයක්ද දැකබලාගැනීමට හැකියි.
6. රජරට වැව් බැඳි රාජ්ජය හරහා

Source – asiatourism.com
රජරට කියන්නේ වියළි කළාපේ. ටිකක් රස්නේ නම් වැඩි තමයි. ඒත් ඇළ අයිනක් දිගේ දුඹුරුපාට පාරේ වලවල් වල වැටි වැටි මෝටර් සයිකලේක හිමීට ඉස්සරහට යද්දි ඇඟට වදින සීතල සුළඟ මැක්සා… ඒ වගේම පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව අයිනෙන් යද්දී ඒ මහා ජල තලාවන් එක්ක මැවෙන සුන්දරත්වය එක් වරක් වත් නිකැළැල්ව විඳගන්න බයික් සවාරියක් කියන්නේ හොඳ අවස්ථාවක්. වෙල් එළියේ කෙසෙල් බටු මිරිස් හිටවපු වගා බිම් මැදින් බයික් එකේ ගිහින්, පරණ කෝපි කඩේ නාට්‍යයේ වගේ තියෙන ගමේ තේ වතුර කඩේකින් තේ එකක් බොන එක. සමහර විට තේ ෆැක්ටරියේ තේ එකක් බිව්වත් ඒ ලොකේෂන් එකත් එක්ක තේ එකට එන අගය ලැබෙන එකක් නැහැ.
7. නුවර සිට මහියංගනය පාර

Source – youtube.com
නුවර සිට මහියංගනයට යෑමට මාර්ග දෙකකි. එකක් දහ අට වංගුව හරහා හසලකට ගොස් යන පාරය. අනෙක නම් රන්දෙණිගල, රන්ටැඹේ, වික්ටෝරියා හරහා යන මාර්ග දෙකය. දහ අට වංගුව නම් බස්රියකින් යන විට වුවද හොඳින් දැකබලාගත හැකිය. එහෙත් මෝටර් බයිසිකලයක යන්නේ නම් ඕනෑ තැනක නවත්වා ඡායාරූප ආදිය රැගෙන හාත්පස නරඹමින්ද යන්නට හැකිය. අනෙක් මාර්ගය ද තරමක් අලංකාර මාවතකි. වැඩිපුර ජනාවාස ආදිය නොමැති ඒ මාවතේදී සුවිශාල ජලාශ දෙක තුනක්ම අතරමගදි හමු වේ.
සුද්දෝ ඇවිල්ලා ස්කූටියක නැගලා යන හැටි ඩ්‍රෝන ෂොට් එකකින් අරගෙන යූටියුබ් දැම්මාහම තමයි අඩේ අපේ පැත්තේත් මේ වගේ ලස්සන තැන් තියෙනවා කියලා අපිටත් මතක් වෙන්නේ. අපේ ලංකාව ලස්සනම ලස්සන රටක්. ඒකේ ගොඩාක් පාරවල් තියෙනවා හැඩකාර සුන්දර දර්ශන මවාපාන. අපි එයින් කිහිපයක් පමණක් මෙසේ ගෙන හැර දැක්වූවා. තවත් බොහොමයක් ඇති. බයික් එකක් එක්ක යන්න හැකි ඒ වගේ තවත් සවාරි ගැන ඔයාලා දන්නවා නම් අපිටත් කමෙන්ට් එකක් හරහා කියන්න.
Cover Image Source – flickr.com / twitter.com
The post අවදානම් වුවත් ලංකාවේදී යා හැකි පට්ටම බයික් ට්‍රිප් 7ක් appeared first on Lifie.LK.
Saru FM Media