අල්ලස් හා දූෂණ නඩු විභාග කිරීමට නව විශේෂ මහාධිකරණයක් අනිද්දා (16) සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
එම අධිකරණය ආරම්භ කිරීමෙන් ගොඩගැසී ඇති නඩු 8,000ක් පමණ කඩිනමින් අවසන් කිරීමට නියමිතය.
මේ අතර දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු ඇමැතිවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස 04ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී ඇති බවද පැවසේ.
මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීමේ විශේෂ මහාධිකරණයක් ද ස්ථාපිත කර තිබේ. මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදු කරන විමර්ශනයකට අදාළව කරන ලද කැඳවීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 13දා එම කොමිසම හමුවේ පෙනීසිටිය යුතු වුවද, ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේදී කොළඹ රජයේ නිවාස ගණනාවක් නීත්‍යනුකූල නොවන ලෙස විවිධ පුද්ගලයන්ට ලබාදීමට නිර්දේශ කරමින් ලිපි නිකුත් කිරීම පිළිබඳව අදාළ විමර්ශනය පැවැත්වේ.
දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අවස්ථා ගණනාවකදී ගෝඨාභය රාජපක්ෂ කැඳවනු ලැබුවද, ඔහු එම සියලු අවස්ථා මඟහැර ඇත.
2019 වසරේ මුල් වරට ඔහු අධිකරණයට කැඳවූ විට හේතුව ලෙස ඉදිරිපත් කර තිබුණේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත වීමය.
ඉන්පසු ආරක්ෂක හේතු මත යාපනය අධිකරණයට පැමිණිය නොහැකි බව පවසා තිබිණි.
පසුව ජනාධිපති මුක්තිය හේතුවක් ලෙස දක්වමින් අධිකරණයට ඉදිරිපත් නොවූ අතර, පසුව මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබාදීම සඳහා දිවුරුම් ප්‍රකාශයක් මඟින් අවසර ඉල්ලා ඇත.
Saru News










