අයිරංගනී සේරසිංහගේ රුව සමඟ ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස සමරු මුද්දරයක්

0
9

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සම්පූර්ණ වීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත වී වසර 54ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ ජාතික සැමරුම් උළෙල ඊයේ  පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය සහභාගී විය.

මෙම අවස්ථාවේදී “1925 – 2025 : ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන තේමාව යටතේ විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිල වශයෙන් එළිදක්වනු ලැබී ය.

එම සමරු මුද්දරයට සහ මුල් දින කවරයට, ශ්‍රී ලාංකේය සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් වන ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව එක් කිරීම, මෙරට සිනමා කලා උරුමයට ඇය කළ අගනා මෙහෙවරට ගෞරව දැක්වීමක් ලෙස සඳහන් කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ පළමු කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ (1947) සමඟ ආරම්භ වූ මෙරට කතානාද සිනමා ගමන අද වන විට දශක හතකට වැඩි කාලයක් පුරා විවිධ යුගයන්හි දී විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද්‍යතනය වන විට ජාතික සංස්කෘතික උරුමයක් බවට පත්ව ඇති බව මෙම උත්සවයේදී අවධාරණය විය. එමෙන් ම 1925 වසරේ නිහඬ සිනමා යුගයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය සියවසක ගමනක් සනිටුහන් කරමින් 2025 වසරේදී අභිමානවත් ශත සංවත්සරයකට එළඹීම ද මෙහිදී සිහිපත් කෙරිණි.

ප්‍රවීණ රංගවේදිනී අයිරංගනී සේරසිංහ මහත්මියගේ රුව සමරු මුද්දරයට සහ මුල් දින කවරයට එක් කිරීමට අමතරව, සිනමා කලා ක්ෂේත්‍රයට කළ වටිනා දායකත්වය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පීනී ශ්‍රියානි අමරසේන මහත්මියට “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන විශේෂ සම්මානය පිරිනමන ලදී.

ඒ සමඟම, දේශීය සිනමා කර්මාන්තයේ විකාශනය හා එහි ‍ඓතිහාසික ගමන පිළිබඳ ව අවධානය යොමු කරමින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා විසින් විශේෂ දේශනයක් ද පවත්වනු ලැබී ය.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධාන කළ මෙම සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිතුමා, රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපතිතුමා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කලාකරුවන්, සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිසක් සහ ආරාධිතයින් රැසක් සහභාගී වූහ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here