අමතක වුණා නේද දළදා මාලිගාවේ රන් වියන? කොහොමද ප්‍රේමදාස ඒක හැදුවේ? Sri Lanka Latest News

0
7


‘සිරි දළදා දැක්ම’ නිමවී ගතව ඇත්තේ දින කිහිපයකි. එම අවස්ථාව නිර්මාණය වීම සහ මෙම දළදා දැක්මේ පැවැත්ම හා ක්‍රියා‍කාරීත්වය පිළිබඳ, ඒ සඳහා සහභාගි වූ සහ නොවූවන්ගේ විවිධවූ අදහස් වේ. Sri Lanka Latest News

ඉපැරැණි රාජ්‍ය සමයේ සිට කියැවෙන දළදා කතිකාවන් වේ. ඒ සියලු වූ ඓතිහාසික කතිකාවෙන් අනතුරුව දළදා සමිඳුන් පිළිබඳ මෑතකාලීන විශේෂිත සඳහනක් වන්නේ දළදා මැඳුර සඳහා ‘රන් වියනක්’ නිර්මාණය වීමයි. හැමදා විස්මිත ක්‍රියාවක් සැබෑ ලෙසින් ජනගත කිරීමට සූරයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතා, 1980 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙනෙන ලද ලොව හැමට නිවහනක අයිතිය සඳහා වූ ‘ජගත් නිවාස වසර යෝජනාව’ අනුමත විය.

1987 වසර පුරා මුළු ලෝකයේ සෑම සියලු රටක එකලෙසින් කියාත්මක කිරීමේ එකී යෝජනාව ලොව සෙසු රටවලට ආදර්ශයක් වන අයුරින් ශ්‍රී ලංකාව තුළ නිවාස දස ලක්ෂයේ වැඩසටහන සාර්ථක කරමින් ක්‍රියාත්මක කිරීම ප්‍රේමදාස අගමැතිවරයාගේ අදිටන විය.

නිවහනක් පිළිබඳ මෙම ජනතා අපේක්ෂාවන් මෙන්ම ලොව පුරා ජගත් නිවාස වසර යෝජනාව සාර්ථක කරගැනීම සැබෑ ලෙසින්ම අභියෝගයක් විය.
1987 වසර උදාවත් සමග ජගත් නිවාස වසර එළඹිණි. එම වසර ඇරැඹුමේ ජනවාරි මස පළමු දිනයේ ජගත් නිවාස වසර සංවර්ධන කාර්යයන් නිල වශයෙන් ආරම්භ වූයේ මහනුවර දළදා මැඳුරු ප්‍රවේශයේ පැවැති සුවිශ්ෂ උත්සවයකදීය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ අගමැති හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා මෙවන් වූ අදහසක් ප්‍රකාශ කළේය.

‘අද නිවහනක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලෝකවාසී ජනතාවට අතිශය වැදගත් දිනයක්. ඒ ජගත් නිවාස වසර ආරම්භයයි. ඉදිරි වසරක කාලයක් තුළදී අප රට තුළ ක්‍රියාත්මක නිවාස දසලක්ෂය වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නංවා ලොව නිවාසකරණය සඳහා ආදර්ශයක් ලබාදිය යුතුයි. මෙය සැබෑ ලෙසින්ම අභියෝගාත්මක කටයුත්තක්. එය ඉටුකිරීමට තුනුරුවන පිහිට හා ආශීර්වාදය ලැබිය යුතුයි.

මෙම අභියෝගාත්මක නිවාස සංවර්ධන කාර්යය සාර්ථක වීම පිළිබඳ මා හට ඇත්තේ දැඩි විශ්වාසයක්. එහි සාර්ථකත්වය පෙරදැරිව මෙහිදී මා විශේෂ ප්‍රකාශයක් කරනවා. එනම්, මේ වසර නිමාවට ප්‍රථම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රන් වියනක් ඉදිකරන බව. මේ සඳහා අවශ්‍ය වියදම සෙවණ අරමුදල සඳහා ලබාදෙන පරිත්‍යාග තුළින් සපුරාගත හැකි බව මට විශ්වාසයි…’

මෙවන් වූ ප්‍රකාශයක් සමගින් මෙරට ක්‍රියාත්මක වූ නිවාස දසලක්ෂය ජාතික සංවර්ධන වැඩසටහන මුළු දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක විය. එයට සමගාමීව දළදාව සඳහා රන් වියනක් නිර්මාණය වීම කඩිනමින් සිදුවිය.

පෙර රජ දවස දළදා මැඳුර නිර්මාණය වූයේ වරිච්චියෙන් නිමවූ බිත්තියෙනි. එමෙන්ම අසල වනයෙන් මෙහි නිරන්තරයෙන් පැමිණෙන රිළවුන් වැනි සතුන්ගෙන් දළදාවේ ශීර්ෂ වහලය සඳහා බොහෝ හානි සිදුවිණි. මේ සියල්ලට වඩා අභියෝගාත්මක කටයුත්ත වූයේ දළදා කරඬුව වැඩසිටින ස්ථානයට ශීර්ෂගතව කිසිදු අයෙකු යොමු නොවී යෝජිත රන් වියන නිර්මාණය කිරීමයි.

එවක මෙම කටයුත්ත සියලු අභියෝග ජයගනිමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රේමදාස මහතා විසින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පවරන ලදී. එවක එහි ප්‍රධාන ඉංජිනේරු වූ අප මිතුරු විද්‍යාජොති, ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා, දළදා මැඳුරේ ගෞරවාන්විත බව සහ එහි ඉපැරැණි වාස්තු විද්‍යාත්මක ගුණ සුරකිමින් සිය කාර්ය මණ්ඩලය මෙහෙයවමින් රන් වියනේ සියලු ඉදිකිරීම් කාර්යයන් සිදුකරන ලදී.

ලොව ඉපැරැණි පූජනීය ස්ථානයක් ඇසුරේ මෙවන් වූ රන් වියනක් වසර දහස් ගණනකට පසු ඉදිකිරීම සැබෑ ලෙසින්ම අභියෝගයකි. වර්ගඅඩි 3,450ක දළදා කරඬුව වැඩසිටි පුදබිම ආවරණය වන අයුරින් මෙම රන් වියන නිර්මාණය කිරීම මෙන්ම එය සවිකිරීම සඳහා අවැසි වූ දොඹකර වැනි සුවිසල් යන්ත්‍ර සූත්‍ර මාලිගාවේ කුඩා දොරවල් සඳහා හානිකර නොවන අයුරින් රැගෙන යෑම ඇත්තෙන්ම මෙරට ඉංජිනේරු ඉතිහාසයේ සැබෑ විස්මිත මතක සටහනකි.
මෙම රන් වියන මුලින් තඹ තහඩුවෙන් නිර්මාණය කොට රන්පත් වෙතින් ආවරණය වුණි. දළදා සමිඳුන් වැඩසිටි කුටිය ඉපැරැණි රජ සමයේදී වරිච්චියෙන් නිර්මාණය වූ හෙයින් එහි අභිනවයෙන් සැකසුණු රන් වියනේ වැඩි බර දරාගැනීම සඳහා එවක මාලිගාව සතු වූ ඉපැරැණි කුලුනු හා සමාන කොන්ක්‍රීට් කුලුනු සකසා, ඒ මත රන් වියන තැන්පත් කළ බව ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා වරෙක මා සමග පැවැසීය.

මෙලෙසින් සැකසුණු දළදා සමිඳුන් සඳහා වූ රන් වියන, ජාත්‍යන්තර නිවාස වසර නිමවූ 1987 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මහනුවර දළදා මැඳුරු ප්‍රවේශයේ පැවැති විශේෂ උත්සවයකදී නිරාවණය කරන ලදී. එයට සමගාමීව මෙරට ක්‍රියාත්මක වූ නිවාස දසලක්ෂය ජාතික නිවාස වැඩසටහන ඉලක්කගත පරිදි වසර පහක් (1984-1989) තුළදී සාර්ථකව නිමවිය.

1998 වසරේ දළදා මැඳුර වෙත අතිශය බිහිසුණු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් මාලිගාවේ පහළ මහල් සියල්ල දැඩි ලෙසින් හානි විය. එනමුත් කොන්ක්‍රීට් කුලුනුවලින් වටවූ රන් වියන පිහිටීම නිසා එදා සැබෑ ලෙසින්ම දළදා සමිඳුන් නිරුපද්‍රිතව සුරැකුණි.

එමෙන්ම මේ හා සමාන රන් වියනක් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි පාමුල පිහිටි බුද්ධ වජ්‍රාසනය ආවරණය වන අයුරින් ප්‍රේමදාස මහතාගේ මෙහෙයුමෙන් ඉදිවූ අතර, පසු කලෙක මෙහි පැවැති වැසි කුණාටු තත්ත්වයක් යටතේ එහි ඉහළින් පිහිටි ස්ථූපයක් වජ්‍රාසනය මතට කඩා වැටුණද, එහි පැවැති රන් වියන හේතුවෙන් වජ්‍රාසනය ආරක්ෂා වූ බව කියැවේ.

ලක්විජය සාගර පලන්සූරිය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here